ඇන්ගලා හතරවැනි වතාවටත් බලය හිමිකර ගන්නා ළකුණු

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් අද (සැප්තැම්බර් 24) ආරම්භ වූ අතර මහජන මත විමසුම් අනුව චාන්සලර් ඇන්ගලා(Angela Merkel) නායකත්වය දෙන දක්ෂිණාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඊට අනුබද්ධ සුළු දේශපාලන පක්ෂයක් පැහැදිලිව ඉදිරියෙන් සිටින බවක් පෙන්නුම් කෙරෙයි.
මෙම පාර්ලිමේන්තු මැතිවරණයේ දී ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජය ගත්තොත් බලයේ සිටින චාන්සලර් ඇන්ගලාමර්කල් හතරවැනි වතාවටත් ජර්මනියේ පාලන බලය හිමිකර ගනු ඇත.
චාන්සලර්වරියගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදී බලවේගය වන්නේ වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයයි.
ජර්මන් පාර්ලිමේන්තුව (Bundestag) සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගනු ලබන්නේ ඡන්දදායක කොට්ඨාශ සහ සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයකිනි.
ජර්මන් පාර්ලිමේන්තුව (Bundestag) ආසන හයසිය තිහකින් යුක්ත වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සමානුපාතික ක්‍රමය යටතේ නියෝජනයක් ලබා ගැනීමට සුදුසුකම් ලබා ගැනීමට නම් ඒ ඒ දේශපාලන පක්ෂ 5% ක ඡන්දයක් ලබා ගත යුතු අතර මෙම මැතිවරණයට තරඟ වදින සුළු පක්ෂ එම අවම ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීම සඳහා දුෂ්කර අරගලයක නිරත වෙමින් සිටින බව ජර්මනියෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
මෙවර මැතිවරණයේ දී දක්ෂිනාංශික ජාතික පක්ෂයක් වන (Alternative for Germany or AfD) ජාතික මට්ටමේ දේශපාලනය තුළට පළමු වරට සුදුසුකම් ලබන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් එම වාර්තා සඳහන් කරයි.
එවැන්නක් සිදු වුනොත් එමගින් පශ්චාත් යුද ජර්මන් දේශපාලනයේ අනපේක්ෂිත විශාල වෙනසක් සනිටුහන් කෙරෙනු ඇතැයි බර්ලින් අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
මෙවර මැතිවරණයේ දී අඩු ඡන්දදායක සහභාගිත්වයක් සිදු විය හැකි බවට ප්‍රධාන දේශපාලන පක්ෂ මැසිවිලි පළ කරන අතරවාරයේ ප්‍රකාශයක් කළ ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් (Frank Walter Steinmeier) ඡන්දය පාවිච්චි කරන මෙන් මහජනයාගෙන් ඉල්ලීමක් කළේය.
ජර්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව චාන්සලර්වරයා හෝ වරිය තෝරා පත් කර ගනු ලබන්නේ අභිනවයෙන් තේරී පත්වෙන පාර්ලිමේන්තුව (Bundestag) මගිනි.




























