මහජන මුදලින් ගුවන් ගමන් ගිය ඇමරිකානු සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

Tom Price in the Eisenhower Executive Office Building September 5, 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පෞද්ගලික ගුවන් යානා සඳහා ආණ්ඩුව වැය කළ මුදල් නැවත ගෙවන බව ටොම් ප්‍රයිස් පවසයි
Published

නිල කටයුතු සඳහා මිල අධික පෞද්ගලික ගුවන් යානා භාවිත කිරීම මුල් කර ගනිමින් ඇමරිකාවේ සෞඛ්‍ය ලේකම් ටොම් ප්‍රයිස් සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

මහජන බදු මුදලින් ඩොලර් හාරලක්ෂයක් වැය කර පසුගිය මැයි මාසයේ සිට තමන්ටම පමණක් වෙන් වූ ගුවන් ගමන් 26 සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු මීට ඉහතදී සමාව ඉල්ලා තිබිණි.

නිල කටයුතු සඳහා සංචාරය කිරීමේ දී එරට ආණ්ඩුවේ බලධාරීන් විසින් භාවිත කළ යුත්තේ සාමාන්‍ය මගී ගුවන් යානාය.

නමුත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පමණක් ඊට ඇතුළත් නොවේ.

නිල කටයුතු සඳහා තමන්ටම වෙන් වූ ගුවන් යානා යොදා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ තවත් සාමාජිකයන් තිදෙනෙකු ද විවේචනයට ලක් වී තිබේ.

ඇමරිකානු ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටොම් ප්‍රයිස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගනු ලැබ ඇති බවය.

නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ඩොන් ජේ රයිට් වැඩබලන සෞඛ්‍ය ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇති බවත් ඉහත කී නිවේදනයේ සඳහන් වේ.

Tom Price (R) looks at Donald Trump during a "Made in America" event at the Roosevelt Room of the White House in Washington, July 20, 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නිල කටයුතු සඳහා තමන්ටම වෙන් වූ ගුවන් යානා යොදා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ තවත් සාමාජිකයන් තිදෙනෙකු ද විවේචනයට ලක් වී තිබේ

දේශපාලන පුවත් වාර්තා කරන 'පොලිටිකෝ' නමැති වෙබ් අඩවිය විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව ටොම් ප්‍රයිස්ගේ ගුවන් ගමන් සඳහා වැය වී ඇති මුදල ඩොලර් දස ලක්ෂයකට අධිකය.

එම වෙබ් අඩවිය පවසන පරිදි පෞද්ගලික ගුවන් යානා සඳහා වැය කර ඇති ඩොලර් හාරලක්ෂය මෙන්ම විදේශ සංචාර සඳහා යොදා ගත් ඇමරිකානු හමුදා ගුවන් යානා සඳහා වැය කර ඇති මුදල ද ඊට ඇතුළත් වේ.

අදාළ වියදම් සම්බන්ධයෙන් "තමන් සතුටු නොවන" බව ජනාධිපති ට්‍රම්ප් මීට ඉහත දී පවසා තිබිණි.

වෙනම පෞද්ගලික ගුවන් යානා සඳහා ආණ්ඩුව වැය කළ මුදල් නැවත ගෙවන බවට ප්‍රතිඥා දෙමින් ටොම් ප්‍රයිස් කියා සිටියේ "ඒ ගුවන් ගමන්වලට බදු ගෙවන ජනතාව සතයක් හෝ ගෙවිය යුතු නැහැ" යනුවෙනි.

File image of Ryan Zinke

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, • අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් රයන් සින්කේ

නිල කටයුතු සඳහා වෙනම පෞද්ගලික ගුවන් යානා භාවිත කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක් වී සිටින ජනාධිපති ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයන් :

  • අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් රයන් සින්කේ නිල සංචාරයක් සඳහා ලාස් වේගාස් සිට මොන්ටානා බලා යාමට පසුගිය ජුනි මාසයේ වෙනම ගුවන් යානයක් භාවිත කර ඇති අතර පොලිටිකෝ සහ වොෂිංටන් පෝස්ට් වාර්තා කරන පරිදි ඒ සඳහා වැය කර ඇති මහජන මුදල ඩොලර් 12,000 කි.
  • පසුගිය මාසයේ පැවති සූර්ය ග්‍රහණය නැරඹීම සඳහා සිය බිරිඳ සමග ගුවන් ගමනක යෙදී ඇති බවට මහා භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින්ට චෝදනා එල්ල වේ.
  • පරිසර ආරක්ෂණ ආයතනයේ ප්‍රධානී ස්කොට් පෘයිට් සාමාන්‍ය ගුවන් ගමන්වලට අයත් නොවන සංචාර සඳහා ඩොලර් 58,000 අධික මුදලක් වැය කර තිබේ.

මධුසමය

ස්ටීවන් මන්චින් (දකුණේ සිට දෙවැන්නා) ජුනි මාසයේ විවාහ වූ බිරිඳ ලුයිස් ලින්ටන් සමඟ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටීවන් මන්චින් (දකුණේ සිට දෙවැන්නා) සිය බිරිඳ ලුයිස් ලින්ටන් සමඟ

මේ අතර ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින්ගේ ඉහත කී ගුවන් ගමනට අමතරව සිය මධුසමය සඳහා යුරෝපය බලා යාමට ආණ්ඩුවේ ගුවන් යානයක් ඉල්ලා සිටීම නිල පරීක්ෂණයක් දක්වා ගිය ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

ලේකම්වරයා සිය මධුසමය සඳහා යුරෝපයට යාමට ආණ්ඩුවේ ගුවන් යානයක් ඉල්ලා සිටි බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරනු ලැබ තිබේ.