ගුවන් කපිතාන් නිවුන් දෙබෑයෝ එකදා ගුවනින් සමු ගනිති

Nicholas (left) and Jeremy Hart

ඡායාරූප මූලාශ්‍රය, Stuart Bailey/PA Wire

ඡායාරූප ශීර්ෂ වැකිය, නික් (වම්පසින් ) සහ ජෙරමි නිවුන් සොහොයුරෝ
Published

නිවුන් සහෝදරයන් වන ගුවන් නියමුවන් දෙදෙනෙකු එකම මොහොතක සිය ගුවන් යානා ගොඩ බස්සවමින් රැකියාවෙන් විශ්‍රාම ගත් පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.

සිය 60 වෙනි උපන්දිනය යෙදී තිබූ බ්‍රහස්පතින්දා (සැප් 28) ජෙරමි හාට් සහ නික් හාට් යන කපිතාන්වරු තත්පර 30 කාල පරතරයක් තුළ සිය ගුවන් යානා දෙක ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ගොඩ බැස්වූහ.

සිය සොහොයුරා සමග එකම මොහොතක විශ්‍රාම ගැනීම, "සමුගැනීමට ඇති හොඳම මග" ලෙස බෙඩ්ෆොඩ්ෂයර් පළාතේ වෙසෙන කපිතාන් ජෙරමි හඳුන්වයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔක්ස්ෆර්ඩ්ෂයර් පළාතේ වෙසෙන කපිතාන් නික් කියා සිටියේ "සෑම ගුවන් යානයකට වගේම නියමුවෙකුටත් අවසන් ගමනාන්තයක් තිබෙන" බවය.

හාට් සොහොයුරන් විසින් ගුවනේ ගත කරනු ලැබ ඇති කාලය ගුවන් පැය 45,000 කි.

Jeremy (left) and Nicholas Hart

ඡායාරූප මූලාශ්‍රය, Stuart Bailey/PA Wire

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙරමි සහ නික් යන දෙදෙනාම කපිතාන්වරුන් වන බැවින් ඔවුන් එක්ව කිසිදිනක ගුවන් ගමනක් මෙහෙයවා නොමැත

සිය වෘත්තීය තුළ ඔවුනොවුන් වෙන්ව හඳුනා ගැනීමට සෙසු පුද්ගලයන් අපොහොසත් වීම හේතුවෙන් අත්වැරදීම් සිදු වූ අවස්ථා ද තිබූ බව හාට් දෙබෑයෝ සිහිපත් කළහ.

ජෙරමි සහ නික් යන දෙදෙනාම කපිතාන්වරුන් වන බැවින් ඔවුන් කිසිදිනක එක්ව ගුවන් ගමනක් මෙහෙයවා නොමැත.

කපිතාන් ජෙරමි බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සමාගම හා එක් වී ඇත්තේ 1987 වසරේදීය.

කපිතාන් නික් සේවය කළ බ්‍රිටිෂ් මිඩ්ලන්ඩ් ගුවන් සමාගම ද 2012 වසරේ දී බ්‍රිටිෂ් එයාර්වේස් යටතට ගනු ලැබිණි.

"බ්‍රිටිෂ් මිඩ්ලන්ඩ් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කරන නිවුන් සහෝදරයෙකු සිටින බව ජෙරමි, බ්‍රිටිෂ් එයාර්වේස් සමාගමේ සේවය කරන ඔහුගේ සගයන්ට කියා තිබුණේ නැහැ"

"එක දවසක් හීත්‍රෝ ගුවන් තොටුපලේ දී බ්‍රිටිෂ් එයාර්වේස් නියමුවෙක් මා ගාවට දුවන් ඇවිල්ලා ඇහුවා බ්‍රිටිෂ් මිඩ්ලන්ඩ් සමාගමේ නිල ඇඳුමක් ඇඳන් මම මොකක් කරනවද කියලා"

"මම ජෙරමි නෙවෙයි කියලා ඔහුට ඒත්තු ගන්වන්න යම් වේලාවක් ගත වුණා" යනුවෙන් කපිතාන් නික් තමා මුහුණ දුන් අත්දැකීමක් විස්තර කළේය.

Heathrow airport

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හීත්‍රෝ ගුවන් තොටුපල

ස්වීඩනයේ සිට ගමන් ආරම්භ කළ කපිතාන් ජෙරමි විසින් මෙහෙයවූ A320 වර්ගයේ එයාර් බස් ගුවන් යානය බ්‍රිතාන්‍ය වේලාවෙන් 12.34 වන විට හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ළඟා විය.

ජිනීවා සිට පැමිණි කපිතාන් නික්ගේ ගුවන් යානය බ්‍රිතාන්‍ය වේලාවෙන් 12.35 හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ළඟා විය.

තමන් සිය ජීවිත කාලයෙන් වසර දෙක හමාරක් ගුවනේ ගත කර ඇති බව කපිතාන් ජෙරමි කියා සිටි අතර තමා මෙහෙය වූ ගුවන් යානා තුළ මගීන් දොළොස් ලක්ෂයක් පමණ රැගෙන ගොස් ඇති බව කපිතාන් නික් පැවසීය.

"ඔවුන් මෙලොව දුටුවේ එකිනෙකාට විනාඩි තිහක පරතරයකින්. ඔවුන් දෙදෙනා පැදවූවෙත් එකම ගුවන් සමාගමට අයත් එකම වර්ගයේ ගුවන් යානා. ඔවුන් ආපු විදිහටම මිනිත්තු කිහිපයක් ඇතුළත අවසන් ගුවන් ගමනත් නිම කළා" යනුවෙන් බ්‍රිටිෂ් එයාර්වේස් සමාගමේ ප්‍රධාන නියමු ජේම්ස් බැස්නෙට් සඳහන් කළේය.

සබැඳි යොමු: