නිව්යෝර්ක් 'මෑන්හැට්න්' ප්‍රහාරයේ තවත් තොරතුරු

ප්‍රහාරකයාගේ රථය පාසල් බස් රියක ද ගැටී ඇති බව ආමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරකයාගේ රථය පාසල් බස් රියක ද ගැටී ඇති බව ආමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
Published

උස්බෙකිස්තාන් සම්භවයක් සහිත පුද්ගලයකු විසින් නිව්යෝර්ක් නගරයේ 'මෑන්හැට්න්' කලාපයේදී එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන පරීක්ෂණ වලට සම්පූර්ණසහයෝගය දෙන බව උස්බෙකිස්තානය පවසයි.

ඊයේ (ඔක්තෝබර් 31) ඇමෙරිකානු වේලාවෙන් රාත්‍රි හතට පමණ එල්ල කෙරුණ එම ප්‍රහාරයෙන් අටදෙනකු මරණයට පත්ව තවත් එකොළොස් දෙනකුට පමණ තුවාල සිදු වූ අතර ප්‍රහාරකයා උස්බෙකිස්තාන් ජාතිකයකු ලෙස හඳුනා ගනු ලැබුණි.

උස්බෙකිස්තාන් ජනාධිපති ෂව්කත් මිර්සියෝයෙෆ් (Shavkat Mirziyoyev) විසින් සිය විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරනු ලැබ ඇති ප්‍රකාශයක් මගින් නිව්යෝර්ක් ප්‍රහාරය සම්බන්ධයෙන් බලවත් කනගාටුව පළ කරයි.

දැනට හඳුනා ගනු ලැබ ඇති ආකාරයට ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සරණාගතභාවය ලැබ සිටි සේෆුලෝ සයිපොෆ් (Sayfullo Saipov) නමැත්තෙකි.

නිව්ජර්සි,පැටර්සන්,සහ ෆ්ලොරිඩාහි ජීවත් වී ඇති විසි නව හැවිරිදි සැකකරු උස්බෙකිස්තානයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇත්තේ 2010 වසරේය.

ඔහු මින් පෙරත් වැරදි ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වලට ලක් වූවෙකි.

ප්‍රහාරකයා නිව් යෝර්ක් නුවර පදික හා පාපැදි මං තීරුවක් මතට ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් අනතුරුව ව්‍යාජ ගිනි අවි ලෙළවමින් ට්‍රක් රියෙන් පිටතට පැමිණ ඇති අතර එම පුද්ගලයාට වෙඩි තැබු පොලිසිය ඔහු අත්අඩංගුවට ගනු ලැබුණි.

රෝහල්ගත කරනු ලැබ සිටින ප්‍රහාරකයා දැඩි රැකවරණ මැද ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහුගේ රථයේ තිබී හසු වූ කුඩා සටහනක ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳව දැක්වෙන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පවසයි.

2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් අනතුරුව නිව්යෝර්ක් නගරයේ එල්ල කෙරුණ පළමු ත්‍රස්ත ප්‍රහාරය මෙයයි.

ප්‍රහාරයෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වෙන ආරක්ෂක අංශ
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වෙන ආරක්ෂක අංශ

එම ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රකාශයක් කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයට ඇතුල් වෙන විදේශිකයන් දැඩි සෝදිසි කිරීම් වලට ලක් කරන මෙන් තමා දේශ සීමා නිලධාරීන්ට දැනුම් දුන් බව කියා සිටියේය.

මැද පෙරදිගදී පරාජයට පත් කරන ලද ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) සාමාජිකයන්ට එක්සත් ජනපදයට ඇතුල්වීමට ඉඩ නොදිය යුතු බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සංචාරක තහංචියට උස්බෙකිස්තානය ඇතුළත් නොවේ.

එම තහංචිය බලපැවැත්වෙන්නේ ඉරානය-ලිබියාව-යේමනය-සෝමාලියා- චැඩ් සහ උතුරු කොරියාව යන රටවලටයි.

ඊට අතිරේකව වෙනිසුවෙලාහි නම් කරන ලද නිශ්චිත පුද්ගලයන්ට ද එම සංචාරක තහංචිය බල පැවැත්වේ.

ප්‍රහාරයේ සැකකරු සේෆුලෝ සයිපොෆ් (Sayfullo Saipov)

ඡායාරූප මූලාශ්‍රය, St charles county police dpt

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයේ සැකකරු සේෆුලෝ සයිපොෆ් (Sayfullo Saipov)

නිව්යෝර්ක් ප්‍රහාරයෙන් මරණයට පත් අයගෙන් පස් දෙනෙක්ම තම රටවැසියන් බව ආර්ජන්ටිනා විදේශ අමාත්‍යාංශය පවසයි.

මිතුරන් වූ ඔවුන් පස් දෙනා සිය උපාධි ප්‍රදානෝත්සවයේ දහතුන් වෙනි සංවත්සරය සමරමින් මෑන්හැට්න් හි ගත කළ බවත් ආර්ජන්ටිනා විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයේ දැක්වේ.

ඉන්දියාව සහ මෙක්සිකෝව ප්‍රහාරය හෙළා දකිමින් නිවේදන නිකුත් කර ඇති අතර ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය ඇමෙරිකානු ජනතාව වෙත සිය සහයෝගය ප්‍රකාශ කර ඇත.

සබැඳි පුවත්;