කුණාටුවට හසු වූ සියයකට වැඩි පිරිසක් මරුට: විශාල පිරිසක් අතුරුදහන්

Storm Tembin hits Davao, Mindanao

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

දකුණු පිලිපීනය හරහා හමා ගිය දරුණු නිවර්තන කළාපීය කුණාටුවකින් අනතුරුව සියයකට වැඩි පිරිසක් මරුමුවට පත්වී ඇති බව වාර්තා වේ.

තවත් විශාල පිරිසක් අතුරුදහන්ව සිටින බව ද බලධාරීහු පවසති.

ටෙම්බින් (Tembin) කුණාටුවත් සමගම මින්දනාඕ දූපතේ කොටසක ගංවතුරක් හටගත් අතර ඇතැම් ප්‍රදේශවල නාය යාම් ද වාර්තා වී තිබේ.

බරපතලම හානියට පත් වූ Tubod සහ Piagapo නගරවල ඇතැම් නිවාස සුවිසල් ගල් කුට්ටිවලට සම්පූර්ණයෙන්ම යට වී තිබුණි.

පැයට කිලෝමීටර 80ක (පැයට සැතපුම් 50ක) වේගයෙන් හමා ගිය කුණාටුව මින්දනාඕ දූපත හරහා හමා ගොස් එහි දකුණු දිග Palawan ප්‍රදේශය කරා ළඟාවෙමින් තිබිණ.

Map shows Tembin's approximate position at 01:00 GMT on Saturday, heading west

පිලිපීනය නිරන්තරයෙන් නිවර්තන කළාපීය කුණාටුවලින් පීඩා විඳින නමුත් මින්දනාඕ දූපතට එම කුණාටු බොහෝ විට බලනොපායි.

සිකුරාදා ටෙම්බින් කුණාටුව හමා යාමත් සමග Lanao del Norte සහ Lanao del Sur ඇතුළු මින්දනාඕ දූපතේ ඇතැම් ප්‍රදේශවල හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

"ගඟේ ජල මට්ටම ඉහළ ගියා. ඒ එක්කම නිවාස සේරම වගේ ගහගෙන ගියා," Tubod නගරයේ පොලිස් නිලධාරියෙකු වන ජෙරී පාරමී (Gerry Parami) ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබුණි.

දලාමා නගරයේ සුන් බුන් අතර දිවි බේරාගත් පුද්ගලයන් සිටින්නේ දැයි සොයමින් ස්වේච්ඡා සේවකයන් මඩ තට්ටු පීරමින් සිටින බව ද ඔහු පැවසීය.

මේ අතර Tubod නගරයට කිලෝ මීටර 10ක් ඈතින් පිහිටි Piagapo නගරයේ දස දෙනෙකු මියගොස් ඇති බව තවත් නිලධාරියෙක් ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

Rescuers evacuate residents in Davao on Mindanao

ඡායාරූප මූලාශ්‍රය, AFP

"අපි වහාම බේරා ගැනීමේ සේවකයන් පිටත් කළා. ඒත් ගල් කඩා වැටීම නිසා ඔවුන්ට එතරම් දෙයක් කරන්න හැකි වෙලා නැහැ."

Sibuco සහ Salug නගරවල තවත් මරණ වාර්තා වී තිබේ.

විදුලි බලය ඇණ හිටීම සහ සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටීම හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ තිබේ.

මීට දින දෙකකට ඉහත දී මගීන් දෙසිය පනස් එක් දෙනෙකු රැගෙන නැගෙනහිර පිලිපීන වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් පෙරලී යාමෙන් කිහිප දෙනෙකු මිය ගිය නමුත් විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී තිබේ.