රැවුල කැපුවොත් දැඩි දඬුවම් !

රැවුල හැඩ ගැන්වීම තහනම් කරනු ලැබීම නිසා කරනවෑමියෝ බලවත් අසීරු තත්වයකට පත්ව සිටිති

ඡායාරූප මූලාශ්‍රය, SHAH MARAI

ඡායාරූප ශීර්ෂ වැකිය, රැවුල හැඩ ගැන්වීම තහනම් කරනු ලැබීම නිසා කරනවෑමියෝ බලවත් අසීරු තත්වයකට පත්ව සිටිති
Published

වයඹ පකිස්ථානයේ ඉස්ලාමීය සංවිධානයක් ප්‍රදේශයේ කරනවෑමියන්ට නියෝගයක් කරමින් ඔවුන්ගේ සේවය පතා එන පුරුෂයන්ගේ රැවුල බෑමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.

රැවුල වැවීමට අදාළ ඉස්ලාමීය ආගමික මූලධර්ම සැලකිල්ලට ගනිමින් තමන් එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා බව 'කාටුම් -ඉ-නබුවත්' ජාත්‍යන්තර ව්‍යාපාරය (IKNM) යනුවෙන් පෙනී සිටින එම සංවිධානය කියා සිටියි.

වයඹ පකිස්ථානයේ 'කයිබර් පක්තුන්ක්වා' (Khyber Pakhtunkhwa) ප්‍රාන්තයේ ක්‍රියාත්මක වෙන එම ඉස්ලාමීය සංවිධානය, රැවුල් මෝස්තර සහ රැවුල් කොටට කපා හැඩ ගැන්වීම් ද තහනම් කරයි.

එකී තහනම ප්‍රකාශයට පත් කරන IKNM සංවිධානය සිය තීන්දුව ඇතුළත් දැන්වීම් ප්‍රදේශයේ කරනවෑමියන් අතර පත්‍රිකා බෙදා හැර ඇති බව පකිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

බටහිර මෝස්‌තර අනුකරණය කරමින් රැවුල් හැඩ ගැන්වීමෙන් වළකින ලෙසත් එම දැන්වීම් මගින් නිර්දේශ කරනු ලැබ ඇත.

ඉහත කී නියෝගය පිළිපැදීම ප්‍රතික්ෂේප කරන ලද බාබර් සාප්පුවල වීදුරු කවුළු විනාශ කර දමනු ලැබ ඇති බවක් 'මන්සෙහ්රා' (Mansehra) නම් දිස්ත්‍රික්කයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

තම සේවය පතා පැමිණි ගනුදෙනු කරුවන්ගේ රැවුල බෑ එම පළාතේ බාබර් සාප්පු වලට බෝම්බ ගැසීමේ සිද්ධීන් කීපයක් ද මින් පෙර වාර්තා වී ඇත.

'මන්සෙහ්රා' (Mansehra) ප්‍රදේශයේ පුරුෂයන් විවිධ මෝස්‌තර අනුගමනය කරමින් ඔවුන්ගේ රැවුල් හැඩ ගැන්වීම නැවත ආරම්භ කරන ලද්දේ එම පළාත යුද හමුදා පාලනය යටතට ගනු ලැබීමෙන් අනතුරුවයි.

පකිස්තානයේ රැවුල කැපීම තහනම් කෙරෙද්දී චීනයේ 'උයිගුර්'පළාතේ ජනයාගේ රැවුල වැවීම තහනම් කරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්තානයේ රැවුල කැපීම තහනම් කෙරෙද්දී චීනයේ 'උයිගුර්'පළාතේ ජනයාගේ රැවුල වැවීම තහනම් කරනු ලැබ ඇත.

රැවුල සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත කුමක්ද? යන්න පකිස්තානය තුළ වරින්වර විවාදයට ලක් වූ මාතෘකාවකි.

ඉස්ලාමීය ඉගැන්වීම් අකුරටම පිළිපදින ලද පකිස්ථාන් ගුවන් හමුදා භටයෙක් හමුදා විනය අනුව රැවුල කැපීම ප්‍රතික්ෂේප කරන ලද හෙයින් පදවියෙන් ඉවත් කරන ලද අතර එම සිද්ධිය මෙයින් වසර කීපයකට පෙර සමාජ සංවාදයකට හේතු විය.

පකිස්ථාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා එම ගුවන් හමුදා භටයාගේ ආගමික අයිතිය වෙනුවෙන් පෙනී සිටි අතර "ඔහු අනාගමිකවාදීන්ගේ ගොදුරක්" බවට පත් විනැයි චෝදනා කළහ.

කෙසේවුවද, පකිස්ථාන් සමාජයේ දැඩි ඉස්ලාම් භක්තිකයෝ ඔවුන්ගේ රැවුල ඉතා දිගට වැවීමට පුරුදුව සිටිති.

එහෙත් මුහුණ පුරා වවන ලද දිග රැවුල සිරුරට නියමිත මට්ටමින් ඔක්සිජන් ලැබීම කෙරෙහි බාධාවක් ඇති කළ හැකි බව පකිස්ථාන් බලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

තාලිබාන් ව්‍යාපාරය ඇෆ්ඝනිස්ථානයේ බලයේ සිටි කාල පරිච්ඡේදයෙහි පුරුෂයන්ගේ රැවුල කැපීම සහ කාන්තාවන් රූපලාවණ්‍යය සඳහා යොමුවීම දඬුවම් ලැබිය හැකි වරදක් හැටියට ප්‍රකාශයට පත් කර තිබුණි.

පකිස්ථානයේ ඇතැම් සංවිධාන පුරුෂයන්ගේ රැවුල කැපීම තහනම් කරන වකවානුවක තජිකිස්තානය විසින් එරට පිරිමින්ගේ රැවුල බලහත්කාරයෙන් කපා දැමීමේ වැඩසටහනක් පසුගිය සමයේ ආරම්භ කරනු ලැබ තිබුණි.

එම වැඩපිළිවෙල රජය විසින් හඳුන්වා ඇත්තේ 'අන්තගාමිත්වයෙන් මුදා ගැනීමේ වැඩසටහන' යනුවෙනි.

තජිකිස්තානයේ කාත්ලන් (Khatlon) පළාතේ පොලීසිය පවසන ආකාරයට එම ව්‍යාපෘතියේ මුල් දවස් කීපය තුළ පමණක් පොලීසිය විසින් මිනිසුන් 13000 කගේ රැවුල් බලහත්කාරයෙන් කපා දමනු ලැබ ඇත.

සබැඳි පුවත්;