මියන්මාරයේ බෞද්ධයන් වෙඩි පහරින් මරුට

Police trucks in the town of Mrauk U

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, නොසන්සුන් වාතාවරණය හමුවේ පොලිස් ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ
Published

බහුතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රඛයින් ප්‍රාන්තයේ බෞද්ධ විරෝධතාකරුවන් වෙත එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් හත් දෙනෙකුවත් මරණයට පත්ව තිබේ.

අරකන් රාජ්‍යයෙහි බිඳ වැටීම සනිටුහන් කෙරෙන වාර්ෂික සැමරුම් උළෙල තහනම් කිරීමට එරෙහිව රඛයින් ප්‍රාන්තයේ වෙසෙන බෞද්ධයන් හාර දහසක් පමණ ම්රවුක් උ (Mrauk U) වෙත අඟහරුවාදා (ජනවාරි 16) රැස්ව සිටියහ.

ඉන් අනතුරුව හටගත් ප්‍රචණ්ඩකාරී වාතාවරණයත් සමග තවත් ගණනාවක් තුවාල ලබා ඇත.

මියන්මාරය ජන ප්‍රජාවන් ගණනාවකටම නිවහන වන අතර ඇතැම් ජන ප්‍රජාවලට අයත් කණ්ඩායම් එරට ආණ්ඩුව සමග සන්නද්ධ අරගලයක යෙදී සිටිති.

ම්රවුක් උ පෞරාණික අරකන් රාජ්‍යයෙහි අගනුවර වන අතර මියන්මාර හමුදා විසින් මීට වසර 200කට ඉහතදී එම රාජ්‍යය යටත් කර ගනු ලැබීම රඛයින් ප්‍රාන්තවාසීහු වාර්ෂිකව සමරති.

ඉහත කී වාර්ෂික සැමරුම් උළෙල පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දීම මියන්මාර බලධාරීහු මෙවර ප්‍රතික්ෂේප කළහ.

ඊට විරෝධය පළ කිරීම සඳහා උද්ඝෝෂකයන් රජයේ කාර්යාලයක් වට කළ අතර එහිදී පොලිසිය විසින් ඔවුන්ට විවෘත වෙඩි තැබීමක් සිදු කළේය.

girl looking out from a makeshift shelter

ඡායාරූප මූලාශ්‍රය, AFP/ Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝහින්ග්‍යා මුස්ලිම්වරු ලක්ෂ ගණනක් බංග්ලාදේශයේ රැඳී සිටිති

ප්‍රාදේශීය බලධාරීන් පවසන පරිදි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය පළමුව රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තබා තිබේ.

අනතුරුව විරෝධතාකරුවන් පොලිසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔවුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ බව බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.

අග්නිදිග ආසියානු කලාපය භාර බීබීසී වාර්තාකරු ජොනතන් හෙඩ් කියා සිටියේ රඛයින් ප්‍රාන්තයේ පුළුල් වශයෙන් පවතින ගැටුම්වලට විසඳුම් ලබා දීම සඳහා මියන්මාර ආණ්ඩුව දරන උත්සාහය ඉහත කී සිදුවීම මගින් සංකීර්ණ වනු ඇති බවය.

2017 අගෝස්තු අග භාගයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලිකරුවන් විසින් මියන්මාර ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමග රඛයින් ප්‍රාන්තය තුළ දැවැන්ත හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

ඒ සමග රෝහින්ග්‍යා සාමාන්‍ය වැසියන් හය ලක්ෂ පනස් දහසකට අධික සංඛ්‍යාවක් අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ගියහ.

එසේ පළා ගිය රෝහින්ග්‍යා වැසියන් යළි මව්රට වෙත ගෙන එම සඳහා වන කාල රාමුවක් සම්බන්ධයෙන්මියන්මාරය සහ බංග්ලාදේශය අඟහරුවාදා එකඟත්වයකට පැමිණි අතර එදිනම ඉහත කී විරෝධතාව ද පැවැත්විණි.

පසුගිය අගෝස්තු මාසයේ සිට 6 47 000ක් ඉක්මවූ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් බංගලාදේශයට පලාගොස් ඇති බව එම්.එස්.එෆ්. සංවිධානය පවසයි

බෞද්ධ සහ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව අතර පවතින වාර්ගික ගැටුම්වල තීව්‍ර ඉහළ යාමක් මෑත වසර කිහිපය තුළ දක්නට ලැබිණි.

රෝහින්ග්‍යා ගම්මාන වෙත කළ පහරදීම්වලදී රඛයින් ප්‍රාන්තයේ වෙසෙන බෞද්ධ කණ්ඩායම්වල ද සහාය ලැබී ඇති බව වාර්තාකරුවෝ පවසති.

එමෙන්ම බංග්ලාදේශයේ සිට සිය ගම්බිම් බලා පැමිණෙන රෝහින්ග්‍යා සරණාගතයන් භාර නොගන්නා බවට බෞද්ධ ප්‍රජා නායකයන් දැඩි ස්ථාවරයක පසුවන බවත් වාර්තාකරුවෝ සඳහන් කරති.

සබැඳි යොමු: