"අගමැති පදවියට සුදුසු නොවන්නා පක්ෂ නායකත්වයටත් නුසුදුසුයි"

ඡායාරූප මූලාශ්‍රය, AFP
බලයෙන් පහ කෙරුණ අගමැති නවාෂ් ෂරීෆ් පාකිස්තාන් මුස්ලිම් සංගමයට (PML-N) නායකත්වය දීමට සුදුසු නොවන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබ ඇත.
පාකිස්තාන් මහජන පක්ෂය (PPP) සහ ඉම්රාන් ඛාන් විසින් නායකත්වය දෙනු ලබන පාකිස්තාන් තෙරීක් -ඉ- ඉන්සාෆ් (Pakistan Thereek-e-Insaaf) පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
දූෂණ අපචාර චෝදනා ලද හිටපු අගමැතිවරයා පසුගිය වසරේ ජූලි මාසයේ 28 වෙනිදා එම පදවියෙන් ඉවත් කරන ලද්දේත් ඓතිහාසික අධිකරණ තීන්දුවක් අනුවය.
පැනමා ලිපිගොනුවල නවාෂ් ෂරීෆ් පවුලේ සාමාජිකයන්ගේ නම් ඇතුළත්වීම හෙළිදරව් වීමෙන් අනතුරුව දූෂණ චෝදනා යටතේ එම විභාගය පැවැත්වුණි.
එහෙත් තමා කිසිදු වැරදි ක්‍රියාවක් සිදුකර නැති බව නවාෂ් ෂරීෆ් පවසයි.
අගමැති පදවියෙන් ඉවත් කෙරෙමින් දෙන ලද පළමු අධිකරණ තීන්දුවත් සමඟ ඔහු 'පාකිස්තාන් මුස්ලිම් සංගමයට ද (PML-N) නායකත්වය දෙනු ලැබීම සඳහා සුදුසු නොවන බව අලුත් අධිකරණ තීන්දුවේ දැක්වෙයි.
පාකිස්තාන් සෙනේට් සභාවේ නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම තවත් සති දෙකකින් පසුව පැවැත්වීමට නියමිත අතර, නවාෂ් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් සකසන ලද එම පක්ෂයේ අපේක්ෂක ලැයිස්තු ඒ සඳහා තවදුරටත් වලංගු නොවන බව අධිකරණය තීන්දු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
'පාකිස්තාන් මුස්ලිම් සංගමයේ (PML-N) සභාපතිවරයා නවාෂ් ෂරීෆ් යයි දැක්වෙන සියලු නිල වාර්තා වලින් ඔහුගේ නම ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නිර්දේශ කරයි.
"එහි ප්‍රතිපලයක් වශයෙන්, පසුගිය ජූලි මාසයෙන් පසු පක්ෂයේ සභාපතිවරයා හැටියට නවාෂ් ෂරීෆ් විසින් අනුමත කරන ලද සියලු නියෝග සහ ඔහු විසින් ගනු ලැබ ඇති සියලු ක්‍රියා මාර්ග සිදු නොවූ ඒවා මට්ටමින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි" ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.
මේ අධිකරණ තීන්දුව "තමා දේශපාලන කුමන්ත්‍රණයක ගොදුරක් බවට පත් වී ඇතැයි" කියා සිටින නවාෂ් ෂරීෆ්ට එල්ල වූ විශාල ප්‍රහාරයකි.
පවුලේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන ලද නඩු විභාගයකින් අනතුරුව දූෂණ මැඩලීමේ උසාවියක පැවැත්වෙන නඩු විභාගයකට නවාෂ් ෂරීෆ් දැන් මුහුණ දී සිටියි.
එම නඩුවේ තීන්දුව ලබන මාසයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාකිස්තාන් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය හිමි වන්නේ නවාෂ් ෂරීෆ් ගේ 'පාකිස්තාන් මුස්ලිම් සංගමයටය. (PML-N)
ඉදිරි කාලයේ කැඳවනු ලැබීමට ඉඩකඩ ඇති මහ මැතිවරණයකට පෙර සෙනේට් සභා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම තුළින් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බලයත් අල්ලා ගැනීම එම පක්ෂයේ අභිප්‍රාය වී තිබුණි.
සබැඳි පුවත්;



























