වතිකාන භාණ්ඩාගාරික කාදිනල් ඔස්ට්‍රේලියානු අධිකරණය ඉදිරියට

Cardinal George Pell and his lawyer were given a police guard entering court

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

වසර දශක කීපයකට පෙර සිදු කරන ලද බව පැවසෙන ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාරය දැක්වීම සඳහා වතිකානයේ භාණ්ඩාගාරික ජෝර්ජ් පෙල් (George Pell) කාදිනල්වරයා නීතිය ඉදිරියේ පෙනී සිටිය යුතු බව අධිකරණය තීන්දු කළේය.

තමාට එරෙහි චෝදනාවලට ඔහු නිවැරදිකරු යයි කාදිනල් ජෝර්ජ් පෙල් අඟහරුවාදා (අප්‍රේල් 30) අධිකරණය ඉදිරියේ කියා සිටි අතර, කිසිදු වරදක් කර නැති බව ඔහු දිගින් දිගටම අවධාරණය කරයි.

එහෙත් එල්ල වී ඇති සියලු චෝදනා පිළිබඳව නොව, ඇතැම් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව ඕස්ට්‍රේලියාවේ මහේස්ත්‍රාත්වරයෙක් අඟහරුවාදා තීන්දු කළේය.

ඕස්ට්‍රේලියානු කතෝලික සභාවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වන හැත්තෑ හය හැවිරිදි ජෝර්ජ් පෙල් කාදිනල්වරයා වතිකානයේ ද ඉතා බලවත් චරිතයකි.

Cardinal George Pell has pleaded not guilty to charges of sexual assault

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වතිකානයේ තුන්වෙනි බලගතුම චරිතය ලෙස සැලකෙන කාදිනල්වරයා, සිය රටේදී එල්ල වී තිබෙන චෝදනාවලට මුහුණදීම පිණිස පසුගිය වසරේ වතිනාකයෙන් නිවාඩු ලබාගත්තේය.

රැස්ව සිටි මාධ්‍යවේදීන් සහ මහජනතාව අතරින් ඔහු 'මෙල්බර්න්' නුවර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ විශාල පොලිස් බලකායක ආරක්ෂාව යටතේය.

පසුගිය මාර්තු මාසයේ සිට සති හතරක් මුළුල්ලේ පැවති මූලික අධිකරණ විභාගයේ බොහෝ කටයුතු මහජනතාවට විවෘත නොවූ අතර, එහිදී ලබා දුන් බොහෝ සාක්ෂි රහසිගතය.

1990 දී මෙල්බර්න් නුවර දේවස්ථානයකදී එවැනි එක් අපචාරයක් සිදු කර ඇති බවට විවෘත අධිකරණ විභාගයකදී කාදිනල්වරයාට එරෙහිව චෝදනා කෙරිණ. එවකට ඔහු මෙල්බර්න් නුවර අගරදගුරු පදවියේ කටයුතු කළේය.

කාදිනල්වරයා 1970 දශකයේ 'Ballara't නුවර පිහිනුම් තටාකයකදී තවත් අපචාරයක් සිදුකර ඇති බව අධිකරණය ඉදිරියේ අනාවරණය විය. ජෝර්ජ් පෙල් එවකට එම ප්‍රදේශයේ පූජකවරයකු විය.

එහෙත් ඒ සියලුම චෝදනා "අසත්‍ය" බව පවසන කාදිනල්වරයා, තමා නිර්දෝෂී බව අවධාරණය කරයි.

තවත් කියවන්න: