සිරියාවේ ප්‍රහාරවලින් 200කට අධික ප්‍රමාණයක් මියයති

Attacks in Syria - July 2018

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරවලින් පසු දර්ශන රාජ්‍ය මාධ්‍යවලින් ප්‍රචාර කර තිබිණි
Published

නිරිත දිග සිරියාවේ සිදුවූ ප්‍රහාර ගණනාවකින් 215 දෙනෙකු පමණ මියගොස් ඇති බව එරට නිලධාරීන් සහ නිරීක්ෂකයන් කණ්ඩායමක් පවසති.

සිරියානු රජය යටතේ ඇති 'සුවෙයිදා' නගරය ආශ්‍රිතව බදාදා (ජූලි 25) මරාගෙන මැරෙන ප්‍රහාර කීපයක් එල්ල විය.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන තිබේ.

එහිදී රජයට පක්ෂ කණ්ඩායම් සහ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අයත් සටන්කරුවන් අතර වෙඩි හුවමාරුවක් ද සිදුවී ඇත.

ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් යටතේ පවතින ප්‍රදේශ සිරියානු රජයේ පාලනයට නතුකර ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මෙහෙයුම් සඳහා රුසියාව සහාය දක්වයි.

බදාදා එල්ල වූ ප්‍රහාර මාස ගණනාවකින් පසු සිදු වූ දරුණුතම ප්‍රහාර බව වාර්තාකරුවෙක් පැවසීය.

Syrian war

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්සත් රාජධානියේ පිහිටා තිබෙන සිරියාවේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණය කරන සංවිධානයක් ප්‍රකාශ කර සිටියේ, 'දමස්කස්' අගනුවර දකුණින් පිහිටි සුවෙයිදා නගරය සහ ඒ අවට ගම්මානවල මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් ගණනාවක් සිදුව ඇති බවය. එමෙන්ම සටන්කරුවන් ගම්මානයේ නිවෙස්වලට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන් මරා දමා තිබෙන බවද ඔවුහු පැවසූහ.

මේ තොරතුරුද කියවන්න:

ඔවුන්ට අනුව පුද්ගලයන් 221 දෙනෙකු ඝාතනය කර තිබෙන අතර, ඉන් 127 දෙනෙකු සාමාන්‍ය වැසියන් වේ.

"යුද්ධය ආරම්භ වුණාට පස්සේ (2011 දී) සුවෙයිදා නගරයෙන් වාර්තා වූ වැඩිම ලේ වැගිරීම් සහ මරණ සංඛ්‍යාව මෙයයි," යනුවෙන් නිරීක්ෂකයන් කණ්ඩායමේ ප්‍රධානී රමි අබ්දෙල් රහ්මන් AFP පුවත් සේවය වෙත පැවසීය.

Syrian war

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධය පවතින ප්‍රදේශවලින් 270,000ක් පමණ පිරිසක් සිය නිවෙස් අතහැර පළා ගොස් තිබේ

සුවෙයිදා සෞඛ්‍ය බලධාරීන් රජයට පක්ෂ ගුවන් විදුලි නාලිකාවක් වන 'ෂාම් FM' වෙත පවසා ඇත්තේ මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 215 දෙනෙකු මියගොස් 180 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

සුවෙයිදා වෙළෙඳපොළ ආසන්නයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදු වූ අතර, තවත් බෝම්බකරුවන් දෙදෙනෙකු පුපුරා ගැනීමට පෙර ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව සිරියානු රජයේ මාධ්‍ය සේවය වන 'සානා' වාර්තා කළේය.

එමෙන්ම, රජයේ ආරක්ෂක අංශ "ඉස්ලාමීය රාජ්‍ය සංවිධාන ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරනවා" යැයි රජයේ රූපවාහිනී මාධ්‍ය ප්‍රකාශ කළේය.

තවත් තොරතුරු:

පසුගිය වසර කීපය ඇතුළත සිරියාව සහ අසල්වැසි ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය යටතේ තිබූ බොහෝ ප්‍රදේශ මේ වන විට මුදවාගෙන තිබේ.

නමුත් සිරියාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල ඔවුන් ක්‍රියාත්මක වෙමින් සිටිනු දක්නට ලැබේ.

සිරියාවේ අනෙක් ප්‍රදේශවල සිදුවන්නේ කුමක්ද?

නිරිත දිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අයත් ප්‍රදේශ මුදවා ගැනීම සඳහා රුසියාවේ සහාය සහිතව සිරියානු හමුදා විසින් ප්‍රහාර දියත් කර තිබේ.

බදාදා දින රුසියානු සහාය ලබන රජයේ හමුදා විසින්ද ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය යටතේ ඇති 'ඩේරා' සහ සුවෙයිදා යන ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.

යුද්ධය පවතින ප්‍රදේශවලින් 270,000ක් පමණ පිරිසක් සිය නිවෙස් අතහැර පළා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.