වසර 28 ක් කාන්තාවකගේ ඇසේ සැඟවී තිබූ සිවි කාචය

Lost contact lense

ඡායාරූප මූලාශ්‍රය, BMJ

ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවගේ ඇසට ඉහළින් තිබූ කුඩා ගෙඩිය මෙම ස්කෑන් ඡායාරූපයේ දැක්වෙයි
Published

කාන්තාවකගේ ඇසිපිය තුළ තිබී වසර විසිඅටකට පසු හමුවූ සිවි කාචයක් (contact lens) ඉවත් කිරීමට වෛද්‍යවරු ක්‍රියා කර තිබේ.

වයස 42 ක කාන්තාවක් සිය ඇසක් ඉදිමීමට ලක්වී ඇති බව පවසමින් එක්සත් රාජධානියේ 'ඩන්ඩී' (Dundee) නගරයේ වෛද්‍යවරුන් වෙත පැමිණි අවස්ථාවේ සිදු කළ පරීක්ෂණවලින් මෙය හෙළි වී තිබේ.

සිවි කාචය ඉතා පුදුමසහගත ලෙස ඇසිපිය යට තිබූ කුඩා ගෙඩියක් තුළ වසර 28 ක් රැඳී තිබී ඇත.

කාන්තාවට වයස 14 දී ඇයගේ එක් ඇසකට 'බැඩ්මින්ටන් ෂටලයක්' වැදීමෙන් පැළඳ සිටි සිවි කාචය බිමට වැටෙන්නට ඇතැයි විශ්වාස කර තිබේ.

මෙම අසාමාන්‍ය සිද්ධිය පිළිබඳ BMJ වෛද්‍ය සඟරාවේ පළ විය.

ඇයගේ වෛද්‍යවරයා මෙම කාන්තාව 'නයින්වෙල්ස්' (Ninewells hospital) රෝහලේ අක්ෂි රෝග පිළිබඳ අංශයට යොමු කර ඇති අතර, එහිදී MRI පරීක්ෂණයකට ලක් කර තිබේ.

රෝගියාගේ එක් ඇසක් ඉදිමී අඩවන් වී තිබූ බව වෛද්‍යවරු පැවසුහ.

ඡායාරූපවලින් හෙළි වූ පරිදි කාන්තාවගේ ඇසිපිය තුළ මිලිමීටර 8ක් පමණ දිග ගෙඩියක් තිබී ඇති නමුත්, එය තුළ කිසිවක් තිබෙන බව නිරීක්ෂණය වී තිබුණේ නැත.

Lost contact lense

ඡායාරූප මූලාශ්‍රය, BMJ

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර 28ක් ඇසිපිය ඇතුලේ සැඟවුණ සිවි කාචය

නමුත්, ශල්‍ය වෛද්‍යවරුන් එම ගෙඩිය ඉවත් කිරීමෙන් පසු එහි පිටුපසට වන්නට තිබූ සිවි කාචයක් හමුවී තිබේ.

"වැඩිදුර විස්තර විමසීමේදී, රෝගියා කුඩා අවධියේ වම් ඇසට වැදුනු පහරක් ගැන ඇයගේ මවට මතක් වුණා," යැයි වෛද්‍ය සර්ජුන් පටෙල් (Sirjhun Patel)ඇතුළු කණ්ඩායම BMJ වෛද්‍ය සඟරාවේ පළවූ ලිපියේ දක්වා තිබුණි.

"රෝගියා වයස 14 දී බැඩ්මින්ටන් සෙල්ලම් කරමින් සිටින විට බැඩ්මින්ටන් ෂටලයක් ඇයගේ වම් ඇසේ වැදී තිබෙනවා."

"රෝගියා එම අවස්ථාවේ දී ඉතා තදින් වාතය උරා ගන්නා සිවි කාචයක් (RGP lenses ලෙස හැඳින්වේ) පැළඳ සිටියා. නමුත් සිදුවූ අනතුරෙන් පසු එය සොයා ගැනීමට නොහැකි වෙලා," ඔවුන් පවසයි.

එකී අනතුරෙන් පසු කාන්තාවගේ ඇසේ ඇතිවූ ඉදිමුම් තත්වයට ඇයගේ වෛද්‍යවරයා සාර්ථකව ප්‍රතිකාර කර තිබිණි.

අනතුරෙන් පසු කිසි දිනක ඇය RGP සිවි කාච පැළඳ තිබුණේ නැත.

"අනතුර සිදුවුණ අවස්ථාවේ සිවි කාචය රෝගියාගේ වම් ඇසේ පියන තුළ සැඟවී ගොස් අවුරුදු 28ක් එහි තිබූ බව අපිට අනුමාන කරන්න පුළුවන්" යැයි පරීක්ෂකයෝ පවසති.

මේ තොරතුරුද කියවන්න: