කුඩා ප්ලාස්ටික් කැබලි නිසා දිවි අහිමිවන මුහුදු කැස්බෑවෝ

Google

ඡායාරූප මූලාශ්‍රය, Google

Published

ඉතා කුඩා ප්ලාස්ටික් කැබැල්ලක් පවා කැස්බෑවෙකුට මාරාන්තික විය හැකි බව නව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.

ප්ලාස්ටික් එක් කැබැල්ලක් ආහාරයට ගැනීම මගින් සෑම කැස්බෑවන් පස්දෙනෙක්ගෙන් එක් අයෙක් මියයාමේ තර්ජනයක් ඇති අතර කැබලි 14 ක් ආහාරයට ගැනීම මගින් එය 50% දක්වා ඉහළ යා හැකි බව පර්යේෂකයෝ පවසති.

මේ අතුරින් කැස්බෑ පැටවුන් ප්ලාස්ටික්වලට අනාවරණය වීම වඩාත් අනතුරුදායක බව ඔවුන් සොයාගෙන තිබේ.

සමහර කැස්බෑ විශේෂවල දිර්ඝකාලීන රඳා පැවැත්ම පිළිබඳ අවධානය සිය අධ්‍යයනය මගින් ඉස්මතු කරන බව එහි කර්තෘවරු පවසති.

BBC SPORT

ඡායාරූප මූලාශ්‍රය, BBC Sport

ලෝකය පුරා සමුද්‍රවලට පාවී එන අවසානයක් නොමැති ප්ලාස්ටික් රැල්ල මගින් සුවිශේෂී සමුද්‍ර ජීවීන්ගේ ජිවිතවලට කරන බලපෑම දිගින් දිගටම ඉහළ යමින් පවතී.

ප්ලාස්ටික් දැල්වල පැටලී සිදුවන හානි පිළිබඳ වාර්තා කිරීම පර්යේෂකයන්ට සාපේක්‍ෂ ලෙස පහසු කාර්යයක් වන නමුදු, ප්ලාස්ටික් ආහාරයට ගැනීම හේතුවෙන් සිදුවන හානිය නිශ්චය කිරීම වඩාත් අසීරුය.

මිහිමත වෙසෙන මුහුදු කැස්බෑවන්ගෙන් අඩකගේ පමණ ශරීර තුළ ප්ලාස්ටික් ඇති බව ඇස්තමේන්තු කරන මෙම පර්යේෂණයේ කර්තෘවරු, බ්‍රසීල මුහුදු තීරයේ වෙසෙන වටිනා කොළ කැස්බෑවන්ගෙන් (green sea turtles) 90% ක් මේ තත්ත්වයට පත්වී ඇති බව පවසති.

ANGUS DAVISON

ඡායාරූප මූලාශ්‍රය, ANGUS DAVISON

ප්ලාස්ටික් මේ සත්ත්ව විශේෂ කෙරෙහි බලපා ඇති අන්දම නිරීක්ෂණය කරන ලද්දේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ ක්වින්ස්ලන්තයේ ප්ලාස්ටික් රැහැන් අතර හිරවෙන කැස්බෑවන්ගේ වාර්තා පදනම් කර ගනිමිනි.

මෙම දත්ත ඔස්සේ, ප්ලාස්ටික් කැබලි 200 ට වඩා ශරීරගතවූ සත්ත්වයෙකුගේ මරණය නොවැළක්විය හැකි බවට නිගමනයකට පැමිණීමට ඔවුන්ට හැකිවී තිබේ.

ඒ අනුව කැබලි 14 ක් ශරීරගතවීම මගින් 50% ක මරණයට පත්වීමේ හැකියාවක් ද, එක් කැබැල්ලක් පමණක් ශරීර ගතවීමෙන් මරණයට පත්වීමේ හැකියාව 22% ක් බව ද ඔවුන් පවසයි.

BRAZIL PHOTO PRESS

ඡායාරූප මූලාශ්‍රය, BRAZIL PHOTO PRESS

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්ලාස්ටික් දැල් පැටලී මියයන කැස්බෑවෝ

මෙහිදී වැඩියෙන් ම තර්ජනයට ලක්ව ඇත්තේ කුඩා පැටවුන්ය. ඔවුන්, වැඩුණු කැස්බෑවන්ට වඩා විශාල ප්‍රමාණයක් ප්ලාස්ටික් ආහාර ලෙස ලබා ගනී.

කැස්බෑවන් ජිවත්වන කළාපය අනුව මෙන්ම, ඔවුන්ගේ ආහාර ලබා ගැනීම අනුව මෙය තීරණය වන බව ද විද්‍යාඥයෝ පවසති.