මාලදිවයින් ජනපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂක සෝලීට ජය

REUTERS

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

මාලදිවයින් ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී (Ibrahim Mohamed Solih) ජයගෙන ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර තිබේ.

එම අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර ඇති පරිදි ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී ඡන්ද 134,616 ක් හිමි කරගෙන ඇති අතර, වත්මන් ජනපති අබ්දුල්ලා යමීන්ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 96,132 කි.

මේ වන විට මෙම ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඉන්දියාව සහ අමෙරිකාව අදහස් පළ කර තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලබන 30 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර සෝලීගේ ආධාරකරුවන් ජය සැමරුම් මේ වන විටත් ආරම්භ කර තිබේ.

ජයග්‍රහණයෙන් පසු

මේ අතර, තම ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින් ඊබ්‍රහම් මොහොමඩ් සෝලී, ජනපති අබ්දුල්ලා යමීන්ගෙන් ඉල්ලා ඇත්තේ, "ජනතා කැමැත්ත පිළිගන්නා" ලෙසය.

"ජනතාව දී ඇති පණිවුඩය පැහැදිලියි. මාලදිවයින් වැසියන්ට අවශ්‍ය වෙනසක්, සාමය, සාධාරණත්වය" මාධ්‍යවේදීන් අමතමින් ඊබ්‍රහිම් මාලේහිදී පැවසීය.

ඡන්ද විමසීමට පෙර බහුතර මතය වූයේ, ජනපති අබ්දුල්ලා යමීන් යළිත් වරක් ජයගනු ඇති බවට ය.

ඡන්ද විමසීමට පෙර විපක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සිරගත කර සිටි අතර, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට අපොහොසත් වුවහොත් සම්බාධක පනවන බවට අමෙරිකාව මෙන් ම යුරෝපා සංගමය ද අනතුරු අඟවා තිබිණි.

ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී යනු කවුද?

REUTERS

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඔහු, මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙකි. වසර ගණනක් පුරා මාලදිවයින තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම වෙනුවෙන් හඬ නැගූ පුද්ගලයෙකි.

ඔහු මාලදිවයින් ප්‍රජාතන්ත්‍රනවාදී පක්ෂය, ජමූරී පක්ෂය සහ අධාලාත් පක්ෂය ඇතුළු විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් විය.

2011 වසරේ සිට මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේ ද, ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී ය.

REUTERS

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මොහොමඩ් නෂීඩ්

2012 වසරේදී අබ්දුල්ලා යමීන් විසින් රටෙන් නෙරපනු ලැබූ මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මෙම ජයග්‍රහණය පිළිබඳව ට්විටර් පණිවුඩයක් මගින් සිය සතුට පළ කර තිබේ.

ඔහු පවසා ඇත්තේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනාගේ ම ඓතිහාසික ජයග්‍රහණයක් බවය.

මාලදිවයින් රාජ්‍යයට දූපත් 1192 ක් සහ කොරල් ගොඩබිම් 26 ක් ඇතුළත්ය.

එහි වැසියන් 400,000 ක් පමණ වාසය කරන අතර, එරට ආර්ථිකය ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය මත ගොඩ නැගී ඇත.

සබැඳි පුවත්: