'Google චීන ව්‍යාපෘතිය හානිදායකයි': සේවකයෙකුගෙන් චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ගූගල් සමාගම චීනය තුළ 'හානිකර' සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට එම සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරියෙකු චෝදනා කර තිබේ.
ඔහු මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ, අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ වාණිජ කමිටුව වෙත ඉදිරිපත් කළ ලිපියක් මගිනි.
පසුගිය අගෝස්තු මාසයේදී රැකියාවෙන් ඉවත් වන තුරු ගූගල් සමාගමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති ජැක් පෝල්සන් (Jack Poulson) නමැති ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ, ගූගල් සමාගමේ අරමුණු පිළිබඳව තමන් බියෙන් සිටින බව ය.
චීනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත Dragonfly නමැති ව්‍යාපෘතියක් හරහා චීන වැසියන් සයිබර් අවකාශය හරහා නිරීක්ෂණය කිරීමටත් පාලනය කිරීමටත් ගූගල් සමාගම සහය දෙන බවට එම ලිපිය මගින් චෝදනා කර තිබේ.
මේ සම්බන්ධයෙන් ගූගල් සමාගම පවසා ඇත්තේ, චීනය තුළ සිදු කරනුයේ, 'විමර්ශනයක්' පමණක් බව ය.
"මේ වන තුරු අපි කරල තියෙන්නේ විමර්ශනයක් පමණයි. කිසිම ව්‍යාපෘතියක් ආරම්භ කරන්න මෙතෙක් කිසිම සැලසුමක් නැහැ. එපමණයි මට කියන්න තියෙන්නේ," ගූගල් සමාගමේ පර්යේෂණ අංශයේ ප්‍රධානී බෙන් ගෝමස් (Ben Gomes) බීබීසී පුවත් සේවයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර, පසුගිය සතියේදී The Intercept නමැති වෙබ් අඩවියේ පළ වූයේ, සමාගමේ සැලසුම් පිළිබඳ අභ්‍යන්තර ලිපියක් මකා දමන ලෙස ගූගල් සමාගමේ සේවකයින්ට දැනුම් දී ඇති බවය.
මේ සම්බන්ධයෙන් ගූගල් සමාගම් කිසිවක් ප්‍රකාශ කර නොමැති නමුත්, ඔවුන් මෙවැනි අදහසක් පළ කර තිබිණි; "වසර ගණනක් චීන ගූගල් භාවිත කරන්නන් වෙනුවෙන් අපි ආයෝජනය කර තිබෙනවා, Google Translate, Files Go වැනි දේ ඒ අතර වනවා."
"චීනය තුළ සෙවුම් යාන්ත්‍රණයක් (search product) ක්‍රියාත්මක කිරීමේ අදහසක් නැහැ," ගූගල් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
ගූගල් සමාගමේ ක්‍රියාකාරීත්වයේ කරුණු කිහිපයක් පිළිබඳ තොරතුරු ජැක් පෝල්සන්ගේ ලිපියෙහි වාර්තා වුව ද ගූගල් සමාගම නිල වශයෙන් ඒවා තහවුරු කර නොමැත. එම ලිපිය බදාදා (26) අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ වාණිජ කමිටුවට ඉදිරිපත් කෙරිණි.
එම ලිපිය පිළිබඳ විමර්ශන කරනුයේ, "පාරිභෝගික දත්තවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම," යටතේ ය.
ඒ අනුව, අමෙරිකානු සෙනෙට් සභික ටෙඩ් කෲස් (Ted Cruz) ගූගල් සමාගම චීනයේ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන නව සෙවුම් යාන්ත්‍රණය පිළිබඳව එම සමාගමේ පාරිභෝගික පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රධාන නිලධාරී කීත් එන්රයිට් (Keith Enright) වෙතින් කරුණු විමසා තිබේ.
එහිදී, කීත් එන්රයිට් තහවුරු කර ඇත්තේ, Dragonfly නමැති ව්‍යාපෘතියක් පැවතිය ද එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ සූදානමක් නොමැති බව පවසමිනි.
ජැක් පෝල්සන්ගේ ලිපියෙන් ගූගල් සමාගමට එල්ල කර ඇති ප්‍රධාන චෝදනා වන්නේ:
- විශේෂිත පුද්ගලයින්ගේ ජංගම දුරකතන අංක පදනම් කරගෙන ඔවුන් ඉන්ටර්නෙට්හි සොයන දේ පිළිබඳව වාර්තා කිරීම.
- අදාළ සෙවුම් යාන්ත්‍රණය හරහා සොයා ගැනීමට නොහැකි වන ආකාරයේ වචන ලැයිස්තුවක් සකස් කර තිබීම (censorship blacklist). එම වචන අතර "මානව හිමිකම්", 'ශිෂ්‍ය අරගල', 'නොබෙල් ත්‍යාග' සහ 'ශී ජින්පින්' ඇතුළු වචන විශාල සංඛ්‍යාවක් ඇතැයි එම ලිපියෙහි සඳහන් වේ.
- ඊට අමතරව චීන රජය අනුමත කරන තොරතුරු පමණක් සෙවුම් යාන්ත්‍රණය හරහා ලැබෙන ප්‍රතිචාරවලට ඇතුළත් කිරීම.
මෙම අරමුණු හේතුවෙන් ගූගල් සමාගමේ පාරිභෝගික පෞද්ගලිකත්වය පිළිබඳ අභ්‍යන්තර ප්‍රතිපත්තිවලට හානි වන බවත්, දත්ත ආරක්ෂණ මිනුම් පිළිබඳව අමෙරිකානු වෙළෙඳ නියාමනයට අදාළ පොරොන්දුවලට පටහැනි බවත් ජැක් පෝල්සන් පවසයි.
ජැක් පෝල්සන් මෙම ලිපිය ඉදිරිපත් කර ඇත්තේ, මීට මාසයකට පමණ පෙර Dragonfly ව්‍යාපෘතියට එරෙහිව ගූගල් සමාගමේ දැනටත් රැකියාව කරන සේවකයින් සිය ගණනක් එක්ව අත්සන් තැබූ ඒකාබද්ධ ප්‍රකාශනයක් භාර දුන් වාතාවරණයක් තුළය.
සබැඳි පුවත්:




























