ඔස්ට්‍රේලියාවේදී ත්‍රස්ත චෝදනා ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍ය මොහොමඩ් කමර් නිසාම්ඩීන්ට ඇප

ඡායාරූප මූලාශ්‍රය, ABC.NET
සිඩ්නි නගරයේ තෝරාගත් "වැදගත්" පුද්ගලයන් සහ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලදැයි සැක කරමින් ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කමර් නිසාම්ඩීන් ඇප මත මුදා හැර තිබේ.
ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ තොරතුරු ඇතුළත් වී ඇති බවට සැක කළ සටහන් පොතේ ඇති අත්අකුරු මොහොමඩ් කමර් නිසාම්ඩීන්ගේ අත්අකුරු සමග කිසිදු ගැළපීමක් නොමැති බවට විශේෂඥ පර්යේෂණ මගින් තහවුරු වීමෙන් පසුව එරට අධිකරණය ඔහු ඇප මත මුදා හැරීමට තීරණය කළ බව සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ලාල් වික්‍රමතුංග බීබීසි සිංහල සේවයට පැවසීය.
මොහොමඩ් කමර් නිසාම්ඩීන්ගේ ඥාතීන් ඔහුට ඇප දී නිදහස් කර ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව පැවසූ සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ලාල් වික්‍රමතුංග සඳහන් කළේ, ඔහු සිකුරාදා (28) දින තුළ මුදා හරිනු ඇති බව ය.
ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන විසිපස් හැවිරිදි මොහොමඩ් කමර් නිසාම්ඩීන් පසුගිය අගෝස්තු 30 වැනිදා ඔස්ට්‍රේලියාවේදී එරට පොලිස් අත්අඩංගුවට ගැනුණේ, ඉදිරි මාස කීපය තුළ "ISIS" ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ තොරතුරු ඇතුළත් වී ඇතැයි සැලකෙන සටහන් පොතක් සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු පොලිසියට දැනුම් දීම හේතුවෙනි.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සහ ජූලි බිෂොප් ඝාතනය කිරීම සඳහා සැලසුම් කළ බවට වූ චෝදනා මත අත්අඩංගුවට පත් 25 හැවිරිදි මොහොමඩ් කමර් නිසාම්ඩීන්, ත්‍රස්තවාදී චෝදනා මත සති 4 ක කාලයක් බන්ධනාගාරගත කර සිටියේය.
ඔස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටි කමර් නිසාම්ඩීන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එරට විශ්වවිද්‍යාලයකට අනුයුක්තව රැකියාවක ද නිරත වී සිටියේ ය.
කොළඹ ප්‍රධාන පෙළේ ධනවත් මුස්ලිම් ජාතික පවුලක ඉපදුණු කමර් නිසාම්ඩීන්, කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා තිබේ.
ඉන්පසු කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලේ ද්විතීක අධ්‍යාපනය ලබා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඔහු ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇත්තේ, 2015 වසරේදී ය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනාධිපති නීතිඥයෙකු වන ෆායිස් මුස්තාෆා සහ වර්තමාන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අත්අඩංගුවේ පසුවන කමර් නිසාම්ඩීන්ගේ සමීප ඥාතීන් වෙති.
කමර් නිසාම්ඩීන්ට සහාය පළකරමින් ඔහුගේ ඥාතීන්, මිතුරන් සහ සිවිල් ක්‍රියාකාරීන් පසුගිය දා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී නිහඬ විරෝධතාවක ද නිරත වූහ.
නිසාම්ඩීන්ගේ පවුලට සමීප බෞද්ධ ස්වාමීන් වහන්සේ පිරිසක් ද, නිසාම්ඩීන් මූලික අධ්‍යාපනය ලද කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික පාසලේ පියතුමන් පිරිසක් ද මෙම නිහඬ විරෝධතාවයට එක්ව සිටියහ.

බන්ධනාගාරයේ සති 4ක්
සති 4 ක් පුරා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි දැඩි ආරක්‍ෂිත බන්ධනාගාරයක අනිකුත් සිරකරුවන්ගෙන් වෙන්කර කමර් නිසාම්ඩීන් රඳවා සිටියේ, ඔහුට ත්‍රස්තවාදී චෝදනා එල්ල වී තිබූ හෙයිනි.
ඔහු බන්ධනාගාරගතව සිටියදී සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලාල් වික්‍රමතුංග දෙවරක් සැකකරු කමර් නිසාම්ඩීන් හමුවී තිබේ.
කමර් නිසාම්ඩීන් දැඩි අවදානමක් සහිත සිරකරුවෙකු ලෙස නම්කර තිබූ බැවින් ඔහු හමුවීම පහසු කාර්යයක් නොවූ බව ද සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා සඳහන් කළේය.
ඉදිරියට මොක ද වෙන්නේ?
මෙම චෝදනා සම්බන්ධයෙන් කමර් නිසාම්ඩීන්ගෙන් පැය 8 ට අධික කාලයක් එරට පොලිසිය ප්‍රශ්න කර ඇති අතර එම ප්‍රශ්න කිරීම්වලදී ඔහුට එරෙහි කිසිදු තොරතුරක් ලැබී නැතැයි කමර්ගේ නීතිඥ මුස්තාෆා කෙයිර් පවසයි.
"ඔහුට එල්ල කරල තියෙන චෝදනා ඉතා ම දුර්වලයි. ඒවා ව්‍යාජ චෝදනා. ඒ නිසයි ඔහු ඇප මත නිදහස් කළේ. මේක තවත් පැහැදිලි කර ගත යුතුයි. ඔහුට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා ඉවත් කරගෙන සම්පූර්ණයෙන් නිර්දෝෂී වන තුරු අපි මේ උත්සහය අත්හරින්නේ නැහැ," ABC පුවත් සේවයට ඔහු සඳහන් කර තිබිණි.
නීතිඥ මුස්තාෆා කෙයිර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, ප්‍රශ්නගත සටහන් පොතේ අත්අකුරු තම සේවාදායක කමර් නිසාම්ඩීන්ගේ නොවන නිසා පොලීසියේ නඩුව බලාපොරොත්තු රහිත එකක් බව ප්‍රකාශ කරයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
කමර් නිසාම්ඩීන් භාවිත කළ පරිගණකය, ජංගම දුරකතනය සහ වෙනත් ලියකියවිලි පරීක්ෂා කිරීමෙන් ද ඔහුට එරෙහි කිසිදු තොරතුරක් හමුවී නොමැති බව අධිකරණය හමුවේ අනාවරණයවී තිබේ.
සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලාල් වික්‍රමතුංග ද කිසිදු ආකරයේ අන්තවාදී අදහස් සහිත කරුණු කමර් නිසාම්ඩීන් සතුව නොතිබූ බවද විමර්ශකයන් අධිකරණයට වාර්තා කළ බව පැවසුවේය.
ඇප මත නිදහස් කෙරුණු කමර් නිසාම්ඩීන් නැවත ඔක්තෝබර් 23 වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව ද සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ලාල් වික්‍රමතුංග වැඩිදුරටත් පැවසීය.



























