වඳුරාට සුක්කානම දුන් ඉන්දීය රියැදුරුගේ වැඩ තහනම්

ඡායාරූප මූලාශ්‍රය, YouTube
සිය බස් රථය පැදවීම වඳුරෙකුට භාර කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක් වූ රියැදුරෙකු පිළිබඳව අසල් වැසි ඉන්දියාවෙන් වාර්තා වේ.
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ධාවනය කෙරුණු බස් රථයේ ගමන් ගත් තිස් දෙනෙකු හෝ ඊට ආසන්න මගීන් පිරිස ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් සිදු කර නොතිබීම ත් විශේෂත්වයකි.
බැලූ බැල්මට නිවී සැනසිල්ලේ සහ දක්ෂ ලෙස සුක්කානම හසුරුවන ආකාරය දැක්වෙන 'රියැදුරු වඳුරාගේ' වීඩියෝ දර්ශන විශාල වශයෙන් හුවමාරු වීමත් සමග මිනිස් වඳුරාගේ හාම්පුතුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබේ.
"සුක්කානම හැසිරවීම වඳුරෙකුට භාර කර" මගීන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළිය නොහැකි බව ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
එම තීන්දුව කෙටි වීඩියෝ නරඹා උද්දාමයට පත් ඉන්ටර්නෙට් භාවිත කරන්නන් වැඩි දෙනෙකුගේ සතුටට හේතු වී නොමැත.
"හරි ම ෂෝක්. ඇයි වැඩ තහනම් කළේ? මෙවැනි දෙයක් යළි සිදු නොකරන ලෙසට ඔහුට අනතුරු ඇඟවීමක් කරන්න තිබුණේ," පරාග් හේඩා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.
අදාළ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඒ පිළිබඳව දැනුවත් වී ඇති රජයේ මාර්ග ප්‍රවාහන සංස්ථාව පවසන පරිදි අදාළ සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය සඳුදා ය.
තවත් මගියෙකු සමග බස් රථයට ගොඩ වූ වඳුරා වෙනත් කිසිදු ස්ථානයක හිඳ ගැනීම ප්‍රතික්ෂේප කළ බව ඇසින් දුටුවෙකු කියා සිටියේ ය.
දේවනගර් වටා බස් රථය ධාවනය වූ කාලය පුරා එම්. ප්‍රකාශ් ලෙස හඳුනා ගනු ලැබ ඇති රියැදුරා සිය එක් අතක් සුක්කානම මත තබා සිටින ආකාරය පෙනෙන්නට තිබේ.
තමන් ඉදිරියේ ඇති මාර්ගය දෙස අවධානයෙන් පසුවන බවක් වඳුරා වෙතින් පිළිබිඹු වන නමුත් පැති කන්නාඩි පිළිබඳ ඔහුට දැනීමක් තිබුණේ දැයි යන්න පැහැදිලි නොමැත.
අවසානයේ සිය ගමනාන්තය වෙත ළඟා වී ඇති වඳුරා සිය රියැදුරු මිතුරාට රාජකාරිය කර ගැනීමට ඉඩ දී ඉන් බැස ගිය බව වාර්තා වේ.



























