මියන්මාර් නායිකා අවුන් සාං සුචීට දුන් සම්මානයක් ආපසු ගනී

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

මියන්මාර රජයේ නායිකා අවුන් සාං සුචී වෙනුවෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය දී තිබූ එහි උසස් ම සම්මානය වන හෘද සාක්ෂයේ තානාපති (Ambassador of Conscience) සම්මානය නිෂ්ප්‍රභ කිරීමට එම ආයතනය තීරණය කර තිබේ.

නොබෙල් සාම ත්‍යාගය ද දිනා ඇති ඇය මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ, 2009 වසරේ ඇය නිවාස අඩස්සියේ සිටියදීය.

මියන්මාරයේ වෙසෙන සුළු ජන කොටසක් වන රෝහින්ග්‍යා වැසියන් සම්බන්ධයෙන් අවුන් සාං සුචී හඬක් නැගීමට අපොහොසත් වීම අවාසනාවන්ත තත්ත්වයක් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් ආයතනය පවසයි. එම ආයතනය චෝදනා කළේ, ආරක්ෂක හමුදාවල මර්දනය හමුවේ රෝහින්ග්‍යා වැසියන් 700,000ක් පමණ පළාගොස් ඇති බවටය.

73 හැවිරිදි අවුන් සාං සුචී අහිමි කර ගත් සම්මාන මාලාවේ නවතම සම්මානය මෙයයි.

"මානව හිමිකම් සම්බන්ධයෙන් අපේක්ෂාවක, ධෛර්යවත්භාවයක, ආරක්ෂාවක කිසිදු සංකේතයක් නියෝජනය කිරීමට අපොහොසත් වීම ගැන අතිශය කනගාටු වෙනවා." ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්හි මහ ලේකම් කුමී නායිදු අවුන් සාං සුචී වෙත යැවූ ලිපියක සඳහන් වේ.

"රෝහින්ග්‍යා වැසියන්ට එරෙහිව ක්‍රියාත්මක වන කෲරකම්වල බරපතළකම ගැන (ඇය) ප්‍රතික්ෂේප කර තිබීම හරහා මේ තත්ත්වය කිසිසේත් යහපත් අතට වර්ධනය වන බවක් පේන්නේ නෑ" නායිදු පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ඇයට පුද කළ එම සම්මානය නිෂ්ප්‍රභ කරන බව ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනය කරනුයේ, අවුන් සාං සුචී නිවාස අඩස්සියෙන් මිදී ගත වන 8 වෙනි සංවත්සරයේදීය.

අවුන් සාං සුචී මියන්මාර රජයේ නායකත්වයට පත් වූයේ, 2016 වසරේදීය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇය මේ දිනවල ව්‍යාපාරික සමුළුවක සහභාගි වීම සඳහා සිංගප්පූරුවට පැමිණ සිටී

රෝහින්ග්‍යා වැසියන්ට එරට ආරක්ෂක හමුදාවලින් හිරිහැර වන බවට එල්ල වන චෝදනා හෙළාදකින ලෙස ඇය බලයට පත් වීමෙන් පසුව ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල විය. කෙසේ වෙතත්, ඇය එසේ කිරීම ප්‍රතික්ෂේප කළාය.

රෝහිනග්‍යා මුස්ලිම්වරුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිරගත කිරීම ද ඇය සාධාරණීකරණය කර තිබිණි.

මේ අතර, බංග්ලාදේශය සමග ඇති කර ගත් එකඟතාව මත මෙම සතියේදී පළමු සරණාගත කණ්ඩායම මියන්මාරයට පැමිණෙන බව මියන්මාර් රජය පවසයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් ආයතන දැඩි අවධානයක් යොමු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍යව ඇත්තේ, සිය උපන් ගම් වෙත පැමිණෙන රෝහිනග්‍යා පවුල්වලට ආරක්ෂිතව සහ ගෞරවාන්විතය ජීවත් වීමට හැකි පරිසරයක් පැවතිය යුතු බවය.