කෂෝගි ඝාතනය: සැකකරුවන් තුර්කියට භාර දීම සෞදිය ප්‍රතික්ෂේප කරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images
මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් බවට නම් කර ඇති සෞදි ජාතිකයින් තුර්කියට භාර දීම සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
"අපි අපේ පුරවැසියන් පිටුවහල් කරන්නෙ නෑ" සෞදි විදේශ අමාත්‍ය ආදිල් අල්-ජුබෙයිර් පැවසුවේය.
මීට සතියකට පමණ පෙර සැකකරුවන් තුර්කියට භාර දෙන ලෙස තුර්කි ජනාධිපති ටායිප් අර්දොවාන් සෞදි රජයෙන් ඉල්ලීමක් කළ අතර, පසුගිය බදාදා තුර්කි අධිකරණයක් විසින් අදාළ සෞදි ජාතිකයින්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලදී.
පසුගිය ඔක්තෝබර් 2 වන දා ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී සිදුවූ මෙම ඝාතනයට අදාළව සෞදි අරාබිය මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකුට චෝදනා එල්ල කර තිබේ.
මේ ගැනත් දැනගන්න:
තුර්කි අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබූ සෞදි ජාතිකයින් වන්නේ, හිටපු සෞදි බුද්ධි අංශ ප්‍රධානී අහමඩ් අල්-අසිරි සහ හිටපු සෞදි රාජකීය උපදේශක සවුද් අල්-කටානි යන පුද්ගලයින් ය.
සෞදි විදේශ අමාත්‍ය අල්-ජුබෙයිර් තුර්කියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ද එල්ල කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
"තුර්කි බලධාරීන් ක්‍රියා කරන්නේ අපට එකඟ විය හැකි ආකාරයකට නෙවෙයි," සෞදි විදේශ ඇමති කී බව AFP පුවත් ඒජන්සිය උපුටා දැක්වීය.
"අපිට නීත්‍යනුකූලව කටයුතු කරන්න පුළුවන් ආකාරයට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස තුර්කියේ සිටින අපේ මිතුරන්ට අපි කිව්වා. ඒත් ඒක අපි අපේක්ෂා කළ ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ"
තුර්කි ජනපති අර්දොවාන් පවසන්නේ, කෂෝගි ඝාතනය කිරීම සඳහා අණ කරන ලද්දේ, සෞදි රජයේ ඉහළ මට්ටමෙන් වුව ද, සෞදි රාජකීය පවුලට හානියක් කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවය.
තවදුරටත් කියවන්න:
සෞදි අරාබිය කියන්නේ කුමක් ද?
මෙම ඝාතනයට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සම්බන්ධ බවට වන චෝදනා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කරයි.
සෞදි රජයේ නීතිඥවරයා පවසා ඇත්තේ, බුද්ධි අංශ නිලධාරියෙකුගේ නියෝගයක් මත කොන්සල් කාර්යාලය තුළදී සිදු වූ පහර දීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවය.
අදාළ පහර දීමෙන් පසුව කෂෝගිට මාරාන්තික එන්නතක් ශරීරගත කර ඇති අතර, පසුව කොන්සල් කාර්යාලය තුළදී ඔහුගේ සිරුර කොටස්වලට වෙන් කර තුර්කි වැසියෙකුට භාර දී ඇතැයි සෞදි නීතිඥවරයා පැවසීය.
ජමාල් කෂෝගි යනු කවුද?
ජමාල් කෂෝගි යනු සෞදි පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් ප්‍රබල පුවත් ආවරණය කළ ප්‍රකට මාධ්‍යවේදියෙකි.
ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර, පසුකාලීනව රජයේ උදහසට ලක් විය.
පසුව ඔහු පසුගිය වසරේ අමෙරිකාවට ගොස් Washington Post පුවත්පතේ මාසික තීරු ලිපියක් පළ කළේ ය.
මේ අතර, Washington Post පුවත්පත බ්‍රහස්පතින්දා (18) කෂෝගි අවසන් වරට ලියූ තීරු ලිපිය පළ කළ අතර එහි අන්තර්ගත වූයේ, අරාබි ලෝකයේ මාධ්‍ය නිදහස පිළිබඳව ය.

ජමාල් කෂෝගි අතුරුදන් වීම - ප්‍රධාන අවස්ථා
- ඔක්තෝබර් 2 (එරට වේලාවෙන්)
03:28: සෞදි නියෝජිතයින් බවට සැක කෙරෙන පිරිසක් රැගත් පෞද්ගලික ගුවන් යානයක් ඉස්තාන්බුල් ගුවන් තොටුපොළට පැමිණියේ ය.
12:13: සෞදි නියෝජිතයින් බවට සැක කෙරෙන පිරිසක් රැගත් රාජ්‍ය තාන්ත්‍රික වාහන කිහිපයක් කොන්සල් කාර්යාලයට ඇතුළු වන අයුරු පටිගත විය.
13:14: ජමාල් කෂෝගි කොන්සල් කාර්යාලයට ඇතුළු විය.
15:08: අදාළ වාහන කොන්සල් කාර්යාලයේ සිට කොන්සල්වරයාගේ නිවස දෙසට ධාවනය වන අයුරු පටිගත විය.
21:00: සෞදි නියෝජිතයින් බවට සැක කෙරෙන පුද්ගලයින් පැමිණි ගුවන් යානා තුර්කියෙන් පිටව ගියේ ය.
- ඔක්තෝබර් 3
කොන්සල් කාර්යාලය තුළදී කෂෝගි අතුරුදන් වී ඇති බවට තුර්කි රජය නිවේදනය කළේ ය.
- ඔක්තෝබර් 4
කෂෝගි නිරුපද්‍රිතව තානාපති කාර්යාලයෙන් පිටව ගිය බව සෞදි අරාබිය පැවසීය.
- ඔක්තෝබර් 7
කෂෝගි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කර ඇති බව තුර්කි බලධාරීහු බීබීසී පුවත් සේවයට පැවසීය. පසුව එය සෞදි අරාබිය ප්‍රතික්ෂේප කළේ ය.
- ඔක්තෝබර් 13
තමන් සතුව ඝාතනය සම්බන්ධයෙන් වීඩියෝ සහ හඬපට ඇතැයි තුර්කි බලධාරීහු බීබීසී අරාබි සේවයට පැවසූහ.
- ඔක්තෝබර් 15, 17 සහ 18
අධිකරණ වෛද්‍ය නිලධාරීහු කොන්සල් කාර්යාලය අවට පරීක්ෂණවල නිරත වූහ.




























