අයහපත් කාලගුණය: ඉරාන ගුවන් යානයක් තාප්පයක ගැටී 15ක් මරුට

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

Published

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වාර්තා වී ඇති අන්දමට බෝයිං 707 වර්ගයේ එම ගුවන් යානය අයහපත් කාලගුණය හේතුවෙන් ෆාත් (Fath) ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්වීමට උත්සහ ගැනීමේදී ගුවන් ධාවන පථය ඉක්මවා ගොස් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එම ගුවන් යානය ගුවන් තොටුපොළ වට ඉදි කර තිබූ තාප්පයේ ගැටී අවට නිවාසවල ද ගැටී තිබේ.

මේ ගැනත් දැනගන්න:

ඉරාන යුද්ධ හමුදාව පැවසුවේ, ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු අතරින් ගුවන් යානා ඉන්ජිනේරුවරයෙකු පමණක් දිවි ගලවාගෙන ඇති බවය.

එම ගුවන් යානය කිර්ගිස්ථානයේ බිෂ්කෙක් අගනුවර සිට ඉරානය දක්වා මාංශ නිෂ්පාදන ප්‍රවාහනය කරමින් තිබූ බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

අනතුරට පත් ගුවන් යානය කුමන සමාගමකට අයත් ද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.

ඉරාන සිවිල් ගුවන් සේවා ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම ගුවන් යානය කිර්ගිස්ථානයට අයත් එකක් වන බවය. එහෙත්, කිර්ගිස්ථානයේ මනාස් ගුවන් තොටුපොළ පැවසුවේ, එය ඉරානයේ පයාම් එයාර් ගුවන් සමාගම විසින් භාවිත කරන්නනක් බවය.