ඔස්ට්‍රේලියාව: ගුවන් සේවකයෙකු මාර්ගයෙන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ කල්ලියක් කොටුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, AUSTRALIAN FEDERAL POLICE
ගුවන් සේවකයෙකු යොදා ගනිමින් ඔස්ට්‍රේලියාව තුළට මත් ද්‍රව්‍ය රැගෙන ඒමේ පුළුල් සංවිධානාත්මක ජාලයක් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකිවූ බව එරට පොලිසිය පවසයි.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පැවසුවේ, මෙල්බෝර්න් නුවර කේන්ද්‍ර කරගත් වියට්නාම් කල්ලියක් විසින් මෙය වසර 5 ක් තිස්සේ කරගෙන යනු ලැබ ඇති බවය.
මේ සම්බන්ධයෙන් මැලින්ඩෝ ගුවන් සමාගමේ සේවකයෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මෙල්බෝර්න්හිදී පසුගිය සතියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නමුත්, මැලේසියාවට අයත් කුඩා පරිමාණ ගුවන් සමාගමක් වන මැලින්ඩෝ එයාර් සමාගම මෙතෙක් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කර නොමැත.
පොලිසිය පැවසුවේ, අදාළ ජාවාරම හරහා අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20 ක් වටිනාකමින් යුතු හෙරොයින් ඇතුළු මත් ද්‍රව්‍ය මැලේසියාවේ සිට ප්‍රවාහනය කර ඇති බවය.
මේ ගැනත් දැනගන්න:

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වයස අවුරුදු 26 ත් 48 ත් අතර වියේ පසුවන පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙකු මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර ඔවුන් කුමන රටක පදිංචිකරුවන් ද යන්න හෙළි කර නොමැත.
"ගුවන් යානයේ කාර්ය මණ්ඩලය මත් ද්‍රව්‍ය ප්‍රවාහකයින් වශයෙන් යොදාගෙන තියෙනවා," සහකාර පොලිස් කොමසාරිස් ටෙස් වෝල්ෂ් ඒ එෆ් පී පුවත් සේවය වෙත පවසා තිබේ.
"මොවුන් ප්‍රධාන වශයෙන් මෙල්බර්න් සහ සිඩ්නි හරහා ඔස්ට්‍රේලියාවට මත් ද්‍රව්‍ය රැගෙනැවිත් තිබෙනවා."
තවත් පුවත්:
කෙසේ වෙතත්, පොලිසිය පසුව නිවේදනය කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් ගුවන් සේවකයෙකු පමණක් චෝදනා ලැබ ඇති බවය.
එම ගුවන් සේවකයා සිය ඇඳුම් තුළ මෙන් ම ගමන් මලු තුළ ද මත් ද්‍රව්‍ය සඟවාගෙන රැගෙනැවිත් ඇතැයි විශ්වාස කෙරේ.
"ගුවන් සේවකයින් සිටින්නේ නීතියට ඉහළින් නෙවෙයි. හැමෝම වගේ ම ඔවුනුත් ගමනාන්තයේදී පරීක්ෂාවට ලක් විය යුතුයි," ඔස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ නියෝජිතයෙක් පැවසීය.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 8 දෙනා මෙල්බර්න්හි අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිය.
මැලින්ඩෝ ගුවන් සමාගමෙන් අදහස් විමසීමට කළ උත්සහයන් ව්‍යර්ථ වී තිබේ.































