ඉඩායි සුළි කුණාටුව: මොසැම්බික්හි සහන සේවකයිනුත් අවදානම් තත්ත්වයක

ඡායාරූප මූලාශ්‍රය, AFP
මොසැම්බික් රාජ්‍යය හරහා හමා ගිය ඉඩායි සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් ආසන්නයට ළඟා වීම අතිශය දුෂ්කර වී ඇතැයි සහන සේවා කණ්ඩායම් පවසයි.
ඔවුන් කියා සිටියේ, ව්‍යසනකාරී ජල ගැලීම්වලට ගොදුරු වූවන් දහස් ගණනක් වහල මත මෙන් ම ගස් මත ද කොටු වී සිටින බවය.
බෙයිරා නගරයේ සහන සේවාවල නිරත කණ්ඩායම් පවසන්නේ, තමන් සතු පිරිසුදු ජලය දින දෙක තුනකට පමණක් ප්‍රමාණවත් වනු ඇති බවය.
මොසැම්බික් සහ සිම්බාබ්වේ හරහා හමා ගිය සුළි කුණාටුවෙන් පුද්ගලයින් 300 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු කර ඇතත්, එම සංඛ්‍යාව ඉහළ යා හැකි බව අපේක්ෂිතය.
ආහාර සහ පානීය පිරිසුදු ජලය හිඟකම නිසා ලෙඩ රෝග පැතිර යාමේ වර්ධනයක් සිදු විය හැකි බවට වෛද්‍ය ආයතන අනතුරු අඟවා තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා බෙයිරා නගරය හරහා ප්‍රබල ඉඩායි සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝමීටර් 177ක වේගයකිනි. බෙයිරා නගරය ව්‍යසනයට ලක් කර එය සිම්බාබ්වේ සහ මලාවි රාජ්‍යයන් කරා හමා ගියේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
"මෙහෙට එන ඕන ම කෙනෙකුට මුලින් ම පෙනෙන්නේ විනාශ වූ නගරය සහ ජල ගැලීම්," වෛද්‍ය පුණ්‍යායතනයක් වන දේශ සීමා නැති වෛද්‍යවරු නමැති සංවිධානයේ හදිසි අනතුරු සම්බන්ධීකාරක ගෙට් වර්ඩොන්ක් පැවසීය.
"ජනතාව පාවිච්චි කරන්නේ ක්ලෝරීනීකරණය නොකරපු ළිං වතුර. ඒවා පිරිසුදු නැහැ... ඒ වගේ ම ඔවුන්ට නිවුමෝනියාව වගේ ශ්වසන රෝග වැළඳීමේ අවදානමක් තියෙනවා," ගෙට් වර්ඩොන්ක් රොයිටර් පුවත් සේවයට පැවසීය.
අසල්වැසි රටවලින් ගලා එන ජලය එක්රැස් වීම නිසා මොසැම්බික් රාජ්‍යය ජල ගැලීම්වලට ලක් වන බව සහන කණ්ඩායම් පවසයි. මේ වන විට එරට වැසියන් 200 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී ඇති අතර, සහන කණ්ඩායම් ළඟා නොවූ ප්‍රදේශ ද රැසක් පවතී.
ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ නිලධාරිනියක වන කැරොලින් හගා පැවසුවේ, වැඩි ම බලපෑමක් එල්ල වී ඇත්තේ බූසි නදිය ආසන්නයේ පිහිටි බෙයිරා නගරයට බවය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ජල ගැලීම්වලින් කොටු වී සිටින පුද්ගලයින් බේරාගෙන ඔවුන්ට තාවකාලික නවාතැන් සැපයීමට ප්‍රමුඛත්වය දී ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ ඩෙබෝරා ගුයෙන් පැවසීය.
මේ අතර, මොසැම්බික් ජනාධිපති ෆෙලිපේ යූසි පවසා ඇත්තේ, පුද්ගලයින් 100,000කට අධික පිරිසක් අවදානමට ලක්ව සිටින බවය.
අවට රටවලට වූ බලපෑම්
සිම්බාබ්වේ රජය පැවසුවේ, පුද්ගලයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් 217 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.
මලාවි රාජ්‍යය තුළ පුද්ගලයින් 80,000කට අධික පිරිසක් අවතැන් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.



























