එතෙර රැකියාවට ගිය මව්පියන් ගෙවන වන්දිය

Illustration; father and mother wave goodbye to children
Published

පසුගිය වසන්ත සමයේ දී කැනිබෙක් තම බිරිඳ සමඟ නිවෙසින් පිටවූයේ රැකියාවක් සොයා ගැනීම සඳහා රුසියාව බලා යාමට ය.

ඔහු ජීවත් වූයේ කිර්ගිස්තානයේ උතුරුකරයේ ග්‍රිගෝරීෆ්කා ගම්මානයේ ය.

ඔහුගේ අනාගත සැලැස්ම ඉතා සරල එකකි. එනම්, දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් ඉතිරි කිරීම සහ බාගෙට ඉදිකර ඇති නිවසේ වැඩ නිම කිරීම පමණි.

ඔහු සිව් දරු පියෙකි. බාලම දරුවාගේ වයස අවුරුදු හතරකි. වැඩිමලා එකොළොස් වියැති ය. මද්දුමයෝ පස් හැවිරිදි සහ අට හැවිරිදි වෙති.

කැනිබෙක් සිය බිරිඳ නුර්සූලු සමඟ රුසියාව බලා ගිය හෙයින් දරු පැටවුන් රැක බලා ගනු ලබන්නේ මිත්තණිය විසිනි. ඇය 54 හැවිරිදි ය.

මෙය අසාමාන්‍ය තත්වයක් නොවේ. කිර්ගිස්තානයේ සෑම අට දෙනෙකුගෙන් ම එක් අයෙකු රැකියාව කරන්නේ රටින් පිට ය.

Illustration: a worker sweeping the streets

ඔවුන් සරි කර තම රටට එවන මුදලේ මුළු එකතුව සුළු පටු නොවේ. එය කිර්ගිස්තානයේ දල ජාතික නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇත.

අඩු සහ මැදි ආදායම් සහිත රටවල මෙම ආදායම දිනෙන් දින ඉහළ යමින් තිබේ. එය 2018 දී ඇමරිකානු ඩොලර් බිලියන 528ක් වූ බවට ඇස්තමේන්තු විය.

නමුත් මේ සා විශාල ධනස්කන්ධයක් වෙනුවෙන් ගෙවන වන්දිය අති මහත් ය.

මුළු දරු පරම්පරාව ම පත් වන්නේ ඥාතීන් ගේ දෑතට ය. බොහෝ විට මේ දරුවෝ නොසලකාහැරීම් සහ අපයෝජනයන්ට ලක් වෙති.

කැනිබෙක් සහ නුර්සූලු මොස්කව් නුවර රැකියාවක නිරත වෙති. ඒ පිරිසිදු කරන්නන් වශයෙනි. කුඩා මහල් නිවාසයක් කුලියට ගෙන මෙම යුවළ දිවි ගෙවති.

ගතවූයේ මාස කිහිපයකි. හදිසියේ ම ඔවුනට ලැබුණේ ඛේදනීය පුවතකි.

Illustration: men visiting a graveyard

අට හැවිරිදි දියණිය, මෙදිනා හදිසි ඇදවැටීමකින් මිය ගිය බව සැල විය. දියණියගේ අවසන් කටයුතු සඳහා කැනිබෙක් සහ නුර්සූලු නැවත ගමරට බලා ගියෝය.

ඔවුහු මිත්තනියට දෝෂාරෝපණය නොකළහ. මව සහ පියා සමඟ දරුවා ජීවත් වූයේ නම් අවශ්‍ය වෛද්‍ය සත්කාරය නොපමාව ලැබෙන්නට ඉඩ තිබිණු බව සත්‍යයකි.

නමුත්, එය අවාසනාවට සිදුවූ දෙයක් ලෙස සලකා ඔවුනට හිත හදා ගන්නට සිදු වෙයි.

අවසන් කටයුතු නිම වූ වහාම කැනිබෙක් සහ නුර්සූලු නැවතත් මොස්කව් නුවරට පැමිණියෝය. ඔවුනට වෙනත් විකල්පයක් නොවන බව ඔවුහූ කල්පනා කළහ.

මෙදිනා ගේ හදිසි මරණය, පසුගිය වසර තුළ එරට සිදු වූ එවැනි ශෝකාන්ත ගණනාවකින් එකක් පමණි.

මුත්‍රා පහවීම හේතුවෙන් තම ඇඳුම තෙමාගත් දෙහැවිරිදි දරුවෙකුට නැන්දණිය විසින් මියයන තුරු පහරදෙනු ලැබීමේ සිද්ධියක් එරට උතුරු පෙදෙසින් වාර්තා විය.

සිව් හැවිරිදි දියණියක දූෂණය කොට ඇයගේ හත් හැවිරිදි සොහොයුරා සහ මිත්තණිය ද සමඟ ඝාතනය කළ බව වර්තාවූයේ කිර්ගිස්තානයේ මධ්‍යම පලාතෙනි.

Illustration: a family walking while holding hands

මෙවැනි ඛේදවාචක සිදුවන්නේ වෙනත් රටක සේවය කරන දෙමව්පියන්ගේ දරුවන්ට පමණක් නොවන බව සැබවි.

නමුත්, විශ්ලේෂකයන් පවසන්නේ මාපිය රැකවරණය අහිමි දරුවන් බොහෝ විට අනතුරුවලට ගොදුරු විය හැකි වටපිටාවකට නිරාවරණය වන බවය.

සමාජ විද්‍යාඥ ගුල්නාරා ඉබ්‍රයීවා ප්‍රකාශ කළේ සංක්‍රමණය යනු පවුල් සංස්ථාවට අනර්ථයක් සිදු නොවන දෙයක් වුවත් ඇතැම් රටවල්, දරුපවුල් සමඟ ම සේවකයන්ට රටට ඒමට ඉඩ නොදීම නිසා එය ප්‍රශ්නයක් වී ඇති බවය.

"ඇතැම් විට බිරිඳ සහ සැමියා පවා දෙතැනක සේවය කරන බැවින් එකිනෙකාගෙන් ඈත් වෙන්න සිද්ධ වෙලා." ඇය පැවසීය.

රැකියා සඳහා වෙනත් රටකට යන කිර්ගිස්තාන ජාතිකයන්ගෙන් 45%ක් කාන්තාවන් ය.

සාස්ගුල් මාදගාසිමෝවා දැන් 29 හැවිරිදිය. ඇයගේ මව රැකියාවක් සඳහා මොස්කව් නුවරට යන විට සාස්ගුල් වයස අවුරුදු 13ක දැරියකි.

මේ ගැනත් කියවන්න:

'ඇමරිකානු සිහිනය'

මව නිවෙසින් පිටව ගිය හෙයින් ගේදොර වැඩකටයුතු කරගෙන යාමට සිදුවූයේ සාස්ගුල්ට ය.

තුන් වසරක් ඇවෑමෙන් සාස්ගුල් ගේ පියා ද රටින් පිට විය.

දසවසරකට පසු දෙදෙනාම නැවත දරුවන් සමඟ ජීවත්වීම සඳහා පැමිණියෝ ය.

දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම ජීවත්වීමට නිවසක් තනා ගැනීමට ද ඔවුන් මුදල් ඉතිරි කර තිබුණි. ඔවුනට අහිමි වූ එකම දෙය දරුවන් සමඟ සතුටින් ගෙවීමට තිබූ කාලය යි.

සාස්ගුල් තම දෙමාපියන්ට දොස් පවරන්නේ නැත. පවුලේ දියුණුව තකා ඔවුනට තිබූ එකම මාර්ගය එය බව ඇය පවසන්නීය.

"සෑම සංක්‍රමණිකයෙකුට ම 'ඇමරිකානු සිහිනයක්' තියෙනවා - තමන්ගේ ම කියල නිවසක්, තමන්ට කියල වාහනයක්, නිසි කලට විවාහය, දරුවන්, දරුවන්ට හොඳ පාසලක්," ඇය කියා සිටියාය.

"ඒත්, ඒ සිහිනය සැබෑ වෙනකොට අවුරුදු ගණනාවක් ගෙවිල ඉවරයි. දරුවන් ලොකුමහත් වෙලා ඉවරයි." සාස්ගුල් පැවසුවාය.

(බීබීසී කිර්ගීස් අංශයේ නාර්ගීසා රිස්කුලෝවා ගේ ලිපියක් ඇසුරෙනි.)