විදොදෝට එරෙහිව ජනතාව වීදි බසිති; හය දෙනෙක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා ලෙස ජොකෝ විදොදෝ නැවත තේරී පත්වීමට එරෙහිව ජනතා විරෝධය එල්ල වෙමින් පවතී.
මේ දක්වා පැවති විරෝධතා හේතුවෙන් හය දෙනෙකු මියගොස් 200 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මරණවලට හේතුව පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව ඉන්දුනීසියානු පොලීසිය පැවසීය.
එරට පොලිස් ප්‍රධානියා පැවසුවේ, "මෙම මරණ සඳහා පොලීසිය වගකිවයුතු යැයි ජනතාව උපකල්පනය නොකළ යුතු" බවය.
කට කතා පැතිරීම වැළැක්වීම සඳහා සමහර ප්‍රදේශවල සමාජ මාධ්‍ය ජාල අවහිර කර තිබේ.
තම නිලධාරීන් ජීව උණ්ඩ භාවිත කළ බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළ පොලිස් ප්‍රධානී ටිටෝ කර්නාවියන්, සංසුන් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
"සමහරු තුවාල වෙලා තියෙන්නේ වෙඩි උණ්ඩවලින් සමහරු තදබල පහර දීම් වලින් තුවාල වෙලා. නමුත් අපි මේ ගැන පැහැදිලි කර ගත යුතුයි," සිදුවී ඇති මරණ ගැන සඳහන් කරමින් ඔහු පැවසීය.
පොලීසිය පැවසුවේ මෙම උද්ඝෝෂණ හොඳින් සැලසුම් කර ඇති බවත් "අහම්බෙන් සිදු නොවුවක්" බවය.
මුහම්මඩ් ඉක්බාල් නම් ප්‍රකාශකයෙකු පැවසුවේ, "උද්ඝෝෂකයින්ගෙන් බහුතරය පිට පළාත්වල සිට ජකර්තා නගරයට පැමිණ ඇති" බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උද්ඝෝෂණ ඇරඹුණේ කෙසේද?
ජකර්තා අගනුවරදී අඟහරුවාදා සාමකාමීව ඇරඹි උද්ඝෝෂණ පසුව කලහකාරී බවට පත්විණි.
මෝටර් රථවලට ගිනිතබන ලද අතර පොලිස් නිලධාරීන් දෙසට රතිඤ්ඤා විසි කෙරිණි.
ඡන්ද ප්‍රතිඵලය අනුව විදොදෝ, තම දීර්ඝකාලීන ප්‍රතිවාදියා වූ ප්‍රබෝවෝ සුබියන්ටෝ පරාජය කර ඇති බව පෙනීයාමත් සමග උද්ඝෝෂණ ඇරඹිණි.
55.5% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් විදොදෝ ජනාධිපතිවරණය ජයගෙන ඇති බව ඉන්දුනීසියාවේ ඡන්ද කොමිසම අඟහරුවාදා තහවුරු කළේය.
නමුත් වංචා සිදුවූ බව පවසමින්, තමා ප්‍රතිඵලය පිළිනොගන්නා බව සුබියන්ටෝ පැවසීය.
හිටපු හමුදා ජනරාල්වරයෙකු වන සුබියන්ටෝ 2014 වසරේදී පැවති මැතිවරණයෙන්ද විදොදෝ ට පරාජය විණි. පසුව ඔහු ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කළ ද එය ප්‍රතිඵල රහිත විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අප්‍රේල් 17 වෙනිදා පැවති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට ඡන්ද දායකයෝ මිලියන 192ක් සුදුසුකම් ලැබූහ.
ඡන්ද ප්‍රතිඵල නිවේදනය කිරීමෙන් අනතුරුව සුබියන්ටෝ ට සහය දක්වන පිරිස් දහස් ගණනින් ඡන්ද අධීක්ෂණ ගොඩනැගිල්ල අසළ එක්රොක් වුහ.
බීබීසී ඉන්දුනීසියානු සේවය පැවසුවේ පොලිස් මැදිහත් වීමෙන් අනතුරුව උද්ඝෝෂකයින් ජකර්තා නගරයේ අනෙක් පෙදෙස් කරා ගිය බවය.
පොලිස් නිලධාරීන් සහ උද්ඝෝෂකයින් අතර ගැටුම් ඇතිවන ආකාරය දේශීය රුපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කෙරිණි.
ගැටුම් ඇති වෙතැයි බලාපොරොත්තුවෙන් භටයින් 30,000ක් පමණ ජකර්තා නුවර ස්ථාන ගත කර ඇත.
ප්‍රධාන ආරක්ෂක අමාත්‍ය විරන්ටෝ බදාදා (මැයි 22) පැවසුවේ සමහර ප්‍රදේශ වල සමාජ මාධ්‍ය අවහිර කෙරෙන බවය.
ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කිරීමට ද බාධා පමුණුවා ඇත. "වැරදි තොරතුරු" පැතිර යෑම වැළැක්වීම එහි අරමුණ බව ඔහු පැවසීය.
කියවන්න:



























