දරුවා බිහිකර පැය භාගයකින් විභාගයට මුහුණ දුන් ඉතියෝපියානු තරුණියක්

ඡායාරූප මූලාශ්‍රය, ILU ABBA BOR ZONE COMMUNICATION OFFICE
දරු ප්‍රසූතියෙන් මිනිත්තු 30කට පසු විභාගයකට මුහුණ දුන් මවක ගැන ඉතියෝපියාවෙන් වාර්තා වේ.
බටහිර ඉතියෝපියාවේ 'මෙටු' නගරයේ 21 හැවිදිරි අල්මාස් ඩෙරේස් (Almaz Derese) දරු ප්‍රසූතියට පෙර විභාගයට මුහුණ දීමට බලපොරොත්තුවෙන් සිටියාය. නමුත්, රාමදාන් උත්සවය හේතුවෙන් ද්වියිතික පාසල් විභාගය කල් දමා තිබිණ.
පසුගිය සඳුදා (ජුනි 10) විභාගය ආරම්භ වීමට සුළු වෙලාවකට පෙර ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූවාය.
දරු ගැබක් දරා සිටීම අධ්‍යාපනයට බාධාවක් නොවන අතර, තවත් වසරකින් පසුපසට යෑමට අවශ්‍ය නොවූ බව අල්මාස් ඩෙරේස් පැවසීය.
සඳුදා දින ඇය ඉංග්‍රීසි, ඉතියෝපියානු භාෂාව වන අම්හරික් සහ ගණිතය විභාග ප්‍රශ්න පත්‍රවලට මුහුණ දුන් අතර, ඉතිරි විෂයන් සඳහා ඊළඟ දින දෙක තුළ දී විභාග ශාලාවට යෑමට නියමිතව සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, ILU ABBA BOR ZONE COMMUNICATION OFFICE
"විභාගයට මුහුණ දීමට මට තිබුණු හදිස්සිය නිසා, දරුවා බිහිකිරීම කිසිම විදියකින් අමාරු වුණේ නැහැ," ඇය බීබීසී වෙත පැවසීය.
රෝහලේ සිට විභාගය ලිවීම සඳහා පාසලෙන් අවසර ගත් බව අල්මාස් ඩෙරේස්ගේ සැමියා ටඩෙසෙ ටුලු (Tadese Tulu) පැවසීය.
ද්වියිතික පාසල් මට්ටමේ දී අධ්‍යාපනය නතර කර කලෙකට පසු යළි අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම ඉතියෝපියානු කාන්තාවන් අතර බහුලව දැකිය හැකිය.
මෙම විභාගවලින් පසුව විශ්වවිද්‍යාලයට ඇතුළු වීම සඳහා සම්පූර්ණ කළ යුතු දෙවසරක පාඨමාලාව සම්පූර්ණ කිරීම අල්මාස් ඩෙරේස්ගේ මීළඟ බලාපොරොත්තුවය.
විභාගයට හොඳින් මුහුණ දුන් බවත්, සිය අලුත උපන් බිළිඳා සුවෙන් පසුවන බවත් ඇය පැවසුවාය.



























