තුර්කිය: බෝම්බ ප්‍රහාරයකින් හමුදාවේ දහතුනක් මරුට

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයට ලක් වූ බස් රථය
Published

හමුදා සෙබළුන් රැගත් බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් ආරක්ෂක භටයන් දහතුන් දෙනෙකු මරුමුවට පත් වී තවත් හතළිස් අට දෙනෙකු තුවාල ලබා ඇති බව තුර්කි හමුදාව පවසයි.

කයිසරි නගරයේ ධාවනය වෙමින් තිබූ බස් රථයට ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බ සවි කරන ලද මෝටර් රථයක් යොදා ගනු ලැබ ඇතැයි සැක කෙරේ.

ප්‍රහාරයට ලක් වී සුන්බුන් බවට පත්ව ඇති බස් රථයේ දර්ශන රූපවාහිනිය ඔස්සේ විකාශනය විය.

සතියකට ඉහතදී ඉස්තාම්බුල් නගරයේ පුපුරා ගිය බෝම්බ දෙකකට හසු වී පුද්ගලයන් හතළිස් හතර දෙනෙකු මරුමුවට පත් වූ අතර කුර්දි සටන්කරුවෝ එහි වගකීම භාර ගත්හ.

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ගත වූ වසර තුළ කුර්දි සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක බවට පත් වූයේ තුර්කි හමුදා සෙබළුන් සහ පොලිස් නිලධාරීන්ය.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් ද තුර්කිය තුළ බෝම්බ පුපුරවා හරිනු ලැබූ අතර සාමාන්‍ය වැසියන් ගැවසෙන පොදු ස්ථාන ඉලක්ක කිරීමට ඔවුහු නැඹුරුවක් දැක්වූහ.