ලන්ඩන් ප්‍ර‍හාරය : පණිවිඩ සේවා ගැන මතභේදයක්

විපතට පත්වූවන්ට ගෞරව පුදමින් කාන්තාවන් පිරිසක් වෙස්මින්ස්ටර් පාලම මත අත්වැල් අල්ලා සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, විපතට පත්වූවන්ට ගෞරව පුදමින් කාන්තාවන් පිරිසක් වෙස්මින්ස්ටර් පාලම මත අත්වැල් අල්ලා සිටියහ.
Published

පසුගිය බදාදා (මාර්තු 22) ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් හි එල්ලවූ ප්‍ර‍හාරය සම්බන්ධයෙන් තවත් අයෙකු බර්මිංහැම් හිදී අත්අඩංගුවට ගැනිණි.

30 හැවිරිදි එම පුද්ගලයා ත්‍ර‍ස්ත ක්‍රියා සූදානම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර පසුගිය බ්‍ර‍හස්පතින්දා බර්මිංහැම් ප්‍රදේශයේදී ම අල්ලා ගන්නා ලද 58 හැවිරිදි සැකකරු ද තවදුරටත් අත්අඩංගුවේ පසුවේ.

වෙස්මින්ස්ටර් පාලම මතදී පදිකයින් යටකරමින් වාහනයක් පදවාගෙන ගිය ඛලීඩ් මසූඩ් නම්වූ ප්‍ර‍හාරකයා පසුව පොලිස් නිලධාරියකුට ද පිහි පහර එල්ල කිරීමෙන් අනතුරුව පොලිස් වෙඩි පහරට ලක්ව මිය ගියේය.

වෙස්මින්ස්ටර් පාලම හා පාර්ලිමේන්තු භූමියේ සිදුවූ එම සමස්ත ප්‍ර‍හාරයට ගෙවී තිබුණේ තත්පර 82ක කාලයකි.

සිද්ධිය සම්බන්ධයෙන් ලන්ඩන් නාගරික පොලිසිය විසින් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුව ද ඉන් නව දෙනෙකු චොදනාවලින් තොරව නිදහස් කෙරිණ. එසේම මැන්චෙස්ටර් හිදි අත්අඩංගුවට ගන්නා ලද 32 හැවිරිදි කාන්තාව මාර්තු අගවන තෙක් පොලිස් ඇප මත සිටින්නීය.

පණිවිඩ සේවා ගැන මතභේදයක්

ප්‍ර‍හාරයට විනාඩි දෙකකට පෙර ඛලිඩ් මසූඩ් WhatsApp පණිවිඩ යෙදවුම හා සම්බන්ධවී සිටි බව හෙළිවීමත් සමග පණිවිඩ මෘදුකාංග සමාගම්වල වගකීම පිළිබඳ මතභේදයක් මතුවෙමින් පවතී.

මීට හේතුව වී ඇත්තේ WhatsApp භාවිතයෙන් යැවෙන පණිවිඩ, යවන්නා හා ලබන්නා අතර පමණක් සුරක්ෂිත කෙරෙන ඛේත ක්‍ර‍මයකට සකස්වී තිබීමය. එනම්, බලධාරීන් සහ WhatsApp ආයතනය අතුළු තුන්වෙනි පාර්ශ්වයකට එය නිරීක්ෂණය කළ නොහැකි වීමය.

ත්‍ර‍ස්ත ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් වදින ඔත්තු සේවාවන්ට අදාළ පණිවිඩ සඳහා ප්‍රවේශවීමට ඉඩ තිබිය යුතු බව පවසන ස්වදේශ ලේකම් ඇම්බර් රඩ් "ත්‍ර‍ස්තවාදීන්ට සැඟවීමට තැනක් නැති විය යුතුයි" යැයි පවසන්නීය.

කෙසේවෙතත්, WhatsApp ප්‍ර‍කාශිකාවක පැවසුවේ පරීක්ෂණවලට සහය දෙන බවය.

මියගිය අය සිහිකරමින්

මිය ගිය කීත් පාමර්, කර්ට් කොච්රාන් සහ අයිෂා ෆ්‍රේඩ් (වමේ සිට දකුණට)

ඡායාරූප මූලාශ්‍රය, PA/FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, මිය ගිය කීත් පාමර්, කර්ට් කොච්රාන් සහ අයිෂා ෆ්‍රේඩ් (වමේ සිට දකුණට)

ප්‍රහාරයෙන් මියගිය අය අතර පොලිස් නිලධාරි හැවිරිදි කීත් පාමර් 47 වෙනි වියේ පසුවූ අතර අයිෂා ෆ්‍රේඩ් වෙස්මින්ස්ටර් පාලමට ආසන්න පාසලක ගුරුවරියක වූවාය. අමෙරිකානු ජාතිකයකු වූ කර්ට් කොච්රාන් සිය 25 වෙනි විවාහ සංවත්සරය සැමරීම සඳහා ලන්ඩන් නුවරට පැමිණ සිටියේය. 75 හැවිරිදි ලෙස්ලි රෝඩ්ස් විශ්‍රාමිකයෙකි.

ඹවුන් සිහිකරමින් ඉරිදා (මාර්තු 26) සවස වෙම්බ්ලි ක්‍රීඩා පිටිය මත මල් වඩම් තැන්පත් කෙරුණේ ලන්ඩන් නාගරික පොලිසියේ වැඩබලන කොමසාරිස් ක්‍රෙග් මැකේ, ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන්, පාපන්දු සංගමයේ සභාපති ග්‍රෙග් ක්ලාක් සහ සංස්කෘතික ලේකම් කැරන් බ්‍රැඩ්ලි අතිනි.

මිය ගිය සිව්දෙනා සිහිකරමින් වෙම්බිලි ක්‍රීඩා පිටිය මත මල් වඩම් තැන්පත් කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, මිය ගිය සිව්දෙනා සිහිකරමින් වෙම්බිලි ක්‍රීඩා පිටිය මත මල් වඩම් තැන්පත් කෙරිණි.

එය සිදුවූයේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයක් ආරම්භ කිරීමට පෙරය.

ඒ අනුව තරගයට පෙර විනාඩියක නිහඬතාවක් පළ කෙරිණි.