'ට්‍රෙබ්' නගර වාසීහු මරණයට පත්වූවන් සිහිකර ශෝකය පළ කරති

ඡායාරූප මූලාශ්‍රය, AFP
ප්‍රංශයේ දකණු දෙස පිහිටි 'ට්‍රෙබ්' නගරය වෙත ඉස්ලාමීය තුවක්කුකරුවෙකු විසින් සිකුරාදා (මාර්තු 23) එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් පුද්ගලයන් සිව් දෙනා වෙත ගෞරවය පළ කිරීම සඳහා අනුස්මරණ උළෙලක් පැවැත්විණි.
සුපිරි වෙළෙඳසැලේ සිටි ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත බේරා ගැනීමට ගොස් මරණයට පත් වූ හතලිස් හතර හැවිරිදි පොලිස් නිලධාරියා වෙනුවෙන් ඉදිරි දිනයකදී රාජ්‍ය ගෞරව යටතේ වෙනම අනුස්මරණ උළෙලක් පැවැත්වීමට නියමිතය.
ප්‍රාණ ඇපකරුවෙකු වෙනුවට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී මරණයට පත් ඔහු වීරයෙකු ලෙස නම් කරනු ලැබ ඇත.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලනය යටතේ ජිහාඩ් තුවක්කුකරුවෙකු සිදු කළ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
රෙදුආන් ලක්දිම් නමැති විසිපස් හැවිරිදි තුවක්කුකරු අන්තවාදියෙකු ලෙස ලැයිස්තු ගත කෙරුණු පුද්ගලයෙකි.
සුළු අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස පෙර හඳුනා ගැනුණු ඔහුගෙන් තර්ජනයක් නොමැති බව ප්‍රංශ බුද්ධි අංශවල තීරණය වී තිබිණි.
අදාළ මෙහෙයුමේදී පොලිසිය විසින් තුවක්කුකරු වෙඩි තබා මරා දමනු ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට පක්ෂපාතීව කටයුතු කරන බවට ප්‍රතිඥා දී ඇති ලක්දීම්, 2015 නොවැම්බර් මස පැරීසියට ප්‍රහාර එල්ල කර 130 දෙනෙකු ඝාතනය කරන ලද බවට සැක කෙරෙන ලා අබ්දෙස්ලාම් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව පැවසේ.
පැරිස් ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන දැනට ජීවතුන් අතර සිටින වඩාත් වැදගත් සැකකරු වන සලා අබ්දෙස්ලාම් අත්අඩංගුවේ පසුවේ.
ජනගහනය පන් දහසක් පමණ වන 'ට්‍රෙබ්' නගරය ප්‍රහාරයෙන් අතිශය කම්පනයට පත්ව ඇත.
ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටි සුපිරි වෙළෙඳසල ඉදිරියේ මල් කළඹ තබා මියගිය පුද්ගලයන්ට අවසන් ගෞරව දැක්වීමට බොහෝ පිරිස් කටයුතු කරමින් සිටිති.
"අපි සිතුවේ මේ වගේ දේවල් වෙන්නේ විශාල නගරවල විතරයි කියලා" යනුවෙන් පනස් දෙහැවිදිරි ආපනශාලා හිමිකාරිනියක් වන කදීජා පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
රෙදුආන් ලක්දිම් විසින් සුපිරි වෙළඳසැලේ සිටි ප්‍රාණ ඇපකරුවන්ගෙන් දෙදෙනෙකු වෙඩි තබා මරා දමනු ලැබීය.
එම පිරිස මුදවාගැනීමේ මෙහෙයුමේදී පොලිස් නිලධාරියා ද වෙඩි වැදී මරණයට පත් වූ අතර පසුව පොලිසිය විසින් තුවක්කුකරු වෙඩි තබා මරා දමනු ලැබිණි.
සුපිරි වෙළඳසැලට පැමිණීමට පෙර තුවක්කුකරු විසින් මෝටර් රථයක් පැහැරගනු ලැබ ඇති අතර එහිදී මෝටර් රථයේ සිටි මගියෙකු වෙඩි වැදී මරණයට පත්ව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තුවක්කුකරු සුපිරි වෙළෙඳසලේ සිටි පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගැනීමට පෙර ව්‍යායාම සඳහා ධාවනයේ යෙදී සිටි පොලිස් භටයන් පිරිසක් ඉලක්ක කර වෙඩි තබා ඇති බව ද ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
මෙය බරපතළ සිද්ධියක් ලෙස විග්‍රහ කරන ප්‍රංශ අගමැති එඩුවාඩෝ පිලිපේ එය 'ත්‍රස්තවාදී ප්‍රහාරයක්' බවට සියලු සාධක ඇති බවත් කියා සිටියේය.

සමාන පුවත්:



























