ජීවිත ගණනාවක් බිලිගත් දූවිලි කුණාටුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරිදා සිට ඉන්දියාවේ ප්‍රාන්ත හතරක් හරහා හමා යන තවත් දූවිලි කුණාටුවකින් මේ වන විට 61 දෙනෙක් මිය ගොස් ඇති අතර තත්වය තවත් දරුණු අතට හැරිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ඉතා වේගයෙන් හමා යන සුළඟෙන් සහ අකුණු සැර වැදීමෙන් නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදුව, විශාල පිරිසක් තුවාල ලබා ඇත.
මරණ සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව අදාළ නිලධාරීන් බීබීසී සමග පැවසූහ.
උත්තර් ප්‍රදේශ්, ආන්ද්‍රා ප්‍රදේශ්, බටහිර බෙංගාලය සහ දිල්ලි නගරයට ඉදිරි දින කීපය ඇතුළත කුණාටු තත්වයක් බලපෑ හැකි බවට ද අනතුරු අඟවා තිබේ.
ඉරිදා කුණාටුවේ බලපෑමට පෙර සියලුම පුද්ගලයන්ට සිය නිවාසවල රැඳී සිටින මෙන් අනතුරු ඇඟවීමට ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. පැයට කිලෝමීටර 109 ක වේගයෙන් හමන සුළඟත් සමග අකුණු ගැසීම් දක්නට ලැබුණු බව නිලධාරීන් පැවසූහ.
මේ තොරතුරුද කියවන්න:
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගුවන් ගමන් හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් ඉරිදා රාත්‍රියේ දී නැවත හරවා යැවීමට කටයුතු කර ඇත.
බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ සුළඟින් සහ අකුණු සැර වැදී නිවාස කඩා වැටීමෙන් බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සහන සේවා කොමසාරිස් සන්ජේ කුමාර් බීබීසී හින්දි භාෂා සේවයට පැවසීය.

දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ඇති වූ දරුණු දූවිලි කුණාටුවකින් 125 කට වැඩි පිරිසක් මිය ගිය අතර, තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ.
ග්‍රීෂ්ම ඍතුවේදී මෙම ප්‍රදේශය තුළ දූවිලි කුණාටු ඇති වීම සාමාන්‍ය දෙයක් වුවත් මෙවැනි විශාල ජීවිත විනාශයක් මින් පෙර වාර්තා වී නොමැත.



























