පිලිපීනයෙන්, චීනයට ආ දරුණු 'මැන්ග්කුට්' සුළි කුණාටුව: ශ්‍රී ලාංකිකයෙකුගේ අත්දැකීම්

Typhoon Mangkhut hits China

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දැඩි සුළං අතරින් ඇවිද යෑමට උත්සහ දරන කාන්තාවක්
Published
කියවීමේ කාලය: මිනිත්තු 3

පසුගිය දින කීපය තුළ පිලිපීනයට බලපෑ දරුණු සුළි කුණාටුව හේතුවෙන් මරණ රැසක් වාර්තා වූ අතර, මේ වන විට එය දකුණු දිග චීනය හරහා හමා යමින් තිබේ.

'මැන්ග්කුට් (Mangkhut)' ලෙස නම් කර ඇති මෙය වසර ගණනාවකට පසු කලාපයට බලපෑ දරුණුතම සුළි කුණාටුවය.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් චීනයේ Guangdong පළාතේ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, මිලියන 2.5කට අධික ප්‍රමාණයක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තාවල දැක්විණි.

හොංකොං නුවර ගොඩනැගිලිවලට ද හානි සිදුව ඇති අතර, නගරයේ සියලු වැඩකටයුතු ඇණහිට තිබේ.

සුළි කුණාටුව මේ වනවිට රට අභ්‍යන්තරයට ගමන් කරමින් තිබේ.

හොංකොංහි සේවය කරන දීපාල් එදිරිසිංහ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ, "සාමාන්‍යයෙන් වෙනදාට ලබාදෙන සුළිසුලං අනතුරු ඇඟවීමට වඩා, මෙවර උපරිම අනතුරු ඇඟවීමක් නිකුත් කළා. බරපතළකම 10/8ක් විදියට අනතුරු ඇඟවීම් තමයි මෙතෙක් කල් වැඩිම දීලා තිබුණේ. නමුත් මෙවර 10/10 ක අනතුරු ඇඟවීමක් ලබා දුන්නා," යනුවෙනි.

Typhoon Mangkhut

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සුළි කුණාටුවේ බලපෑමෙන් පිලිපීනයේ ප්‍රදේශ කීපයක නායයෑම් වාර්තා විය

"කොහොම වුණත්, මේ වගේ දරුණු කාලගුණ තත්වයන්ට මුහුණ දෙන්න මෙහෙ සෑම වෙලාවකම සූදානමින් ඉන්නේ. සුළිසුළං එන්න බොහෝ කළින් අනතුරු ඇඟවීම් නිකුත් කරනවා. පළවෙනි අනතුරු ඇගවීමත් එක්කම හැමදෙනාම සූදානම් වෙනවා," ඔහු තවදුරටත් පැවසීය.

සුළි කුණාටුවේ බලපෑමෙන් පිලිපීනයේ ඉතොගොන් ප්‍රදේශයේ සිදු වූ නාය යෑමකින් පුද්ගලයන් 33 දෙනෙකු මියගිය අතර 29 දෙනෙක් අතුරුදහන් වූහ.

ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. මියගිය ගණන සියයකට වඩා වැඩි විය හැකි බව ඉතොගොන්හි නගරාධිපති වික්ටෝරියෝ පලන්ග්දන් (Victorio Palangdan) පැවසීය.

Typhoon Mangkhut hits China

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හොංකොං නගරයේ ගොඩනැගිලිවලට හානි සිදුව තිබූ ආකාරය

සති අන්තයේ දී හොංකොං නගරයට සුළි කුණාටුවේ බලපෑම එල්ල වීමත් සමග, එහි ගොඩනැගිලි කඩා වැටෙන අයුරු, නිම කරමින් තිබෙන ගොඩනැගිලිවල පලංචි කඩා වැටෙන අයුරු සහ වෙළෙඳ ගොඩනැගිලිවල ජනෙල් කඩා වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ජාලවල දක්නට තිබිණි.

ගුවන් ගමන් අවලංගු කර තිබෙන අතර, දුම්රිය ඇතුළු ගමනාගමන සේවා ඇනහිට ඇත. ප්‍රධාන මහාමාර්ග වසා දැමීමට ද කටයුතු කර තිබේ.

"පෙර සූදානම නිසා සිදු වුණ හානිය අවම වුණා. හැබැයි, ගමනාගමනයට බාධා එල්ල වෙලා තිබෙනවා. ඒක නිසා, සඳුදා රැකියාවට සහ අනෙක් වැඩවලට යන්න අපහසු වුණා" යැයි දීපාල් එදිරිසිංහ පැවසුවේය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ජීවිත හානි සිදු වීම වළක්වා ගැනීමට පියවර ගෙන තිබුණත් මේ වන විට දහස් ගණනක් දෙනා ගංවතුරෙන් සහ ගමනාගමන සේවා අවලංගු වීමෙන් පීඩාවට පත්ව සිටිති.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මැන්ග්කුට් සුළි කුණාටුව රට අභ්‍යන්තරයට යෑමත් සමග හෙට දින (සැප්තැම්බර් 18) වන විට එහි බලපෑම අවම වෙනු ඇති බව අපේක්ෂා කෙරේ.

චීනයට මෙම සුළි කුණාටුව බලපෑවේ කෙසේද?

Jiangmen වෙරළාසන්න නගරයෙන් ඉරිදා (සැප්තැම්බර් 16) මධ්‍යහ්නයේ දී නාය යෑම් වාර්තා විය.

හොංකොං නගරයේ 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව නිලධාරියෝ පවසති.

Typhoon Mangkhut hits China

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පැයට කිලෝමීටර 177කට වැඩි වේගයකින් සුළං හැමීය

එකවර කඩා වැදීමට අමතරව, පැයට කිලෝමීටර 177කට වැඩි වේගයකින් සුළං හැමූ අතර, සමහර ප්‍රදේශවල ජල මට්ටම අඩි 12ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සියලු දෙනාට නිවෙස් තුළට වී ජනෙල් අසලින් ඉවත් වී සිටින ලෙසට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට නිලධාරියෝ කටයුතු කළහ.

බොහෝ කඩ සාප්පු සහ පොදු සේවා වසා දමා තිබූ අතර, හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් 900ක් පමණ අවලංගු කර තිබිණි.

Typhoon Mangkhut hits China

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සියලු දෙනාට නිවෙස් තුළට වී ජනෙල් අසලින් ඉවත් වී සිටින ලෙසට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට නිලධාරියෝ කටයුතු කර තිබූහ

දැඩි බලපෑම් එල්ල වූ ප්‍රදේශයක ජීවත් වන කාන්තාවක් රොයිටර්ස් පුවත් සේවයට පැවසුවේ සුළි සුළඟත් සමග ඇය සිටි ගොඩනැගිල්ල පැද්දෙනු දැනුන බවය.

"එය බොහෝ වෙලාවක් පැද්දෙනවා දැනුණා. පැය දෙකක් පමණ. මට කලන්තේ ගතියක් දැනෙන්න ගත්තා" යැයි එලෙයින් වොන්ග් පැවසීය.

මේ තොරතුරුද දැනගන්න:

පිලිපීනයේ තත්වය කෙසේද?

සති අන්තයේදී පිලිපීනයේ ප්‍රධාන දිවයිනක් වන ලූසන් (Luzon) සුළි කුණාටුවේ දැඩි බලපෑමට ලක්විය.

බොහෝ මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නායයෑම්වලින් බව එරට රජයේ නිලධාරියෝ පවසති. පිලිපීන වැසියන් මෙම කුණාටුව හැඳින්වූයේ ඕමපොන්ග් (Ompong) යන නමිනි.

Typhoon Mangkhut

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සති අන්තයේදී පිලිපීනයේ ප්‍රධාන දිවයිනක් වන ලූසන්වලට (Luzon) සුළි කුණාටුවේ දැඩි බලපෑම් එල්ල විය

තවමත් විශාල පිරිසක් අතුරුදන්ව සිටිති.

ඉතගොන් ප්‍රදේශයේ සිදු වූ නායයෑම නිසා පස්වලට යටවීමෙන් දරුවන් 33 දෙනෙකු මියගොස් තිබේ.

Typhoon Mangkhut

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, තවමත් විශාල පිරිසක් අතුරුදන්ව සිටී

2013 දී පිලිපීනයට බලපෑ හයියාන් සුළි කුණාටුවෙන් 7000කට අධික පිරිසක් මිය ගියහ. නමුත්, මෙවර සුළි කුණාටුවට පෙර අනතුරු ඇඟවීමේ සහ සූදානම් වීමේ ක්‍රියාවලියේ වර්ධනයක් දක්නට ලැබිණි.

තවත් තොරතුරු: