ඉන්දියාව: වැසිකිළියක් නිසා පියෙකු පොලිසියට රැගෙන ගිය දියණියක්

Girl who took his father to the police

ඡායාරූප මූලාශ්‍රය, BBC TAMIL

ඡායාරූප ශීර්ෂ වැකිය, පියා තමන් "රැවටූ" නිසා ඔහු අත්අඩංගුවට ගත යුතු බව හනිෆා සාරා නම් මෙම දියණිය පොලිසියට යොමු කළ ලිපියක සඳහන් කර ඇත
Published

වැසිකිළියක් සාදා දෙන බවට දුන් පොරොන්දුව කඩ වීම නිසා සිය පියා පොලිසියට රැගෙන යාමට ඉන්දියාවේ වාසය කරන සත් හැවිදිරි දැරියක් කටයුතු කර තිබේ.

පියා තමන් "රැවටූ" නිසා ඔහු අත්අඩංගුවට ගත යුතු බව හනිෆා සාරා නම් මෙම දියණිය පොලිසියට යොමු කළ ලිපියක සඳහන් කර ඇත. එළිමහනේ ශරීර කෘත්‍යය කිරීමෙන් තමන් "ලජ්ජාවට" පත්වන බව එම ලිපියේ තවදුරටත් සඳහන් කර තිබිණ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙළි කරන දත්ත අනුව ඉන්දියානුවන් බොහෝ දෙනෙකුට වැසිකිළි පහසුකම් නොමැති අතර, මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් තවමත් එම කාර්ය සිදු කරන්නේ එළිමහනේය.

වැසිකිළි පහසුකම් තිබුණ ද, බොහෝ දෙනෙකු ඒවා භාවිත කරන්නේ ද නැත.

තමිල්නාඩු ප්‍රාන්තයේ අම්බුර් නගරයේ දිවි ගෙවන හනිෆා සාරාගේ නිවසේ ද කිසි දිනක වැසිකිළි පහසුකම් නොතිබිණි.

සිය අසල්වාසීන් කීපදෙනෙකුට මෙම පහසුකම් තිබූ බව ඇය බීබීසී දෙමළ සේවයේ ක්‍රිතිකා කන්නන් සමග පැවසීය. එම නිසා, තම නිවස තුළ ද වැසිකිළියක් සාදා දෙන ලෙස ඇය පියාගෙන් ඉල්ලා සිටියාය. ඒ වන විට ඇය පෙර පාසල් දැරියකි.

"මට එළිමහනේ මළ පහ කරන්න ලැජ්ජයි. ඒ වෙලාවට මිනිස්සු මගේ දිහා බලනවට මම කැමති නැහැ," හනිෆා පැවසුවාය. ශරීර කෘත්‍යය එළිමහනේ සිදු කිරීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු පිළිබඳ පාසලෙන් දැනුවත් වීමෙන් පසු ඇය තවත් දිරිමත් වූවාය.

Girl who took his father to the police
ඡායාරූප ශීර්ෂ වැකිය, හනිෆා පොලිසියට යොමු කළ විස්තරාත්මක ලිපිය

විභාග ප්‍රතිඵලවලින් පංතියේ පළමුවැනියා වුවහොත් වැසිකිළියක් සාදා දෙන බවට සිය පියා දුන් පොරොන්දුව පිළිබඳ ඇය පොලිසියට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.

"පෙර පාසල් කාලයේ ඉඳන් මම පංතියේ පළමුවැනියා වෙනවා. මම දැන් දෙවෙනි ශ්‍රේණියේ ඉන්නේ. නමුත් තවමත් ඔහු එය හදලා දෙනවා කියලා කියනවා විතරයි. මෙය ඇත්තෙන්ම රැවටීමක්. කරුණාකර එයාව අත්අඩංගුවට ගන්න," හනිෆා සාරාගේ ලිපියේ සඳහන් වූවාය.

අත්අඩංගුවට ගැනීමට නොහැකිනම්, ඇයට වැසිකිළියක් සාදා දෙන බව සඳහන් කරමින් පියාගේ අත්සන සහිත ලිපියක් ලබා දීමට ඔහුට බල කර සිටින්නැයි ඇය තවදුරටත් සඳහන් කර තිබිණි.

සිය නිවසේ වැසිකිළියක් සෑදීම ආරම්භ කළත්, මුදල් අපහසුතා නිසා එය සම්පූර්ණ කිරීමට නොහැකි වූ බව හනිෆාගේ පියා වන එසනුල්ලා බීබීසී දෙමළ සේවයට පැවසීය. ඔහු මේ වන විට රැකියා විරහිතයෙකි.

මේ තොරතුරුද කියවන්න:

"මම හනිෆාට කිව්වා මට තව ටික කලක් දෙන්න කියලා. නමුත් පොරොන්දු ඉටු කරන්න බැරි වීම නිසා එයා මාත් එක්ක කතා කරන එක නැවැත්තුවා," ඔහු පැවසුවේය.

"තව කොපමණ කාලයක් මම එකම දේ එයාගෙන් අහන්නද? ඕනෙ තරම් සල්ලි නැහැ කියන නිදහසට කාරණේ එයා එයා දිගටම කියවයි. ඒක නිසා මම පොලිසි ගියා," යැයි හනිෆා අනුකම්පා විරහිතව පැවසුවාය.

පසුගිය සඳුදා හනිෆා සිය මව වන මෙහරීන් සමග පාසල අසල පිහිටි පොලිස් ස්ථානයට පැමිණියාය.

"කුසලාන සහ දක්ෂතා අගයමින් නිකුත් කළ සහතික මිටියක් ඇය බෑගයක දමාගෙන ආවා. ඊට පස්සේ ඒවා මගේ මෙසේ උඩ ඇතිරුවා. මට වැසිකිළියක් ලබා දෙන්න පුළුවන් ද? කියලා ඊට පස්සේ ඇය ඇසුවා" යැයි පොලිස් නිලධාරිනී ඒ වලර්මතී බීබීසී දෙමළ සේවයට පැවසීය.

Girl who took his father to the police
ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසිය මේ ගැන එම ප්‍රදේශයේ අදාළ නිලධාරීන් දැනුවත් කළේය

පොලිසිය වහාම හනීෆාගේ පියාට දුරකතන ඇමතුමක් දී එහි පැමිණෙන ලෙස දන්වා ඇත. සිය බිරිඳ සහ දියණියට යම් විපතක් යැයි සිතූ එහ්සනුල්ලා ඉතා කලබලයෙන් පොලිසියට පැමිණි බව වලර්මතී පැවසුවාය.

බොහෝ කරුණු ඇතුළත් කර හනිෆා ලියූ ලිපිය කියවා බැලූ එහ්සනුල්ලා පැවසුවේ, ඇය තමන් අනුගමනය කරමින් රාජකාරි ලිපි ලිවීමට හුරු වී ඇති බවය.

එහ්සනුල්ලා නිරන්තරයෙන් සිය ගම්වැසියන්ගේ ලිපි ලේඛන කටයුතු, නිලධාරීන් සහ නීති සම්බන්ධ ලිපි සැකසීමට උදව් කරන්නේය.

"මම කවදාවත් හිතුවේ නෑ මේ දේ මට එරෙහිව නැගී සිටී කියලා!," ඔහු පැවසීය

හනිෆාගේ උත්සාහයන් ගැන අනුකම්පාව යොමු වී ඇති අතර, පොලිසියේ සහය ද ලැබී ඇත.

"ඇයගේ පැමිණිල්ල ඉතා අවංක එකක්, එක නිසා අපි මේ ප්‍රශ්නය විසඳන්න බලනවා," පොලිස් නිලධාරිනී වලර්මතී පැවසුවාය.

වලර්මතී මේ ගැන එම ප්‍රදේශයේ අදාළ නිලධාරීන් දැනුවත් කළ අතර, හනිෆා ජීවත් වන ප්‍රදේශයේ වැසිකිළි 500ක් තැනීමට අවශ්‍ය මුදල් එකතු කිරීමට ඔවුහු සැළසුම් කරති.

Girl who took his father to the police

ඡායාරූප මූලාශ්‍රය, BBC Tamil

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය නිවසේ වැසිකිළියක් සෑදීම ආරම්භ කළත්, මුදල් අපහසුතා නිසා එය සම්පූර්ණ කිරීමට නොහැකි වූ බව හනිෆාගේ පියා වන එසනුල්ලා පැවසීය

"අපිට බොහොම සතුටුයි එයාගේ මේ පැමිණිල්ලට. අපි පාසල්වල විශේෂ පංති පවත්වල ළමයින්ව දිරිමත් කරනවා ඔවුන්ගේ දෙමාපියන්ට කියලා වැසිකිළි සාදා ගන්න කියලා." නගර කොමසාරිස් එස් පාර්තසරති බීබීසී දෙමළ සේවයට පැවසීය.

'පිරිසුදු ඉන්දියාවක්' යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යාපෘතියට හනිෆා සම්බන්ධ කරගත හැකි බව එස් පාර්තසරති පැවසුවේය.

2019 වසර වන විට සෑම නිවසකටම වැසිකිළියක් ලබා දීමට ඉන්දියානු ආණ්ඩුවේ අරමුණ වී ඇති නමුත්, එයට යම් විරෝධතා එල්ල වී තිබේ.

ඈත ගම්මානවල ජීවත්වන ඉන්දියානුවන්ගෙන් 89%ක් ශරීර කෘත්‍ය සිදු කරන්නේ එළිමහනේ බව මෑතක දී සිදු කළ සමීක්ෂණයකින් හෙළි විය. බොහෝ දෙනෙකු වැසිකිළි පවිත්‍ර කිරීමට ඇති අකමැත්ත මෙන්ම, වැසිකිළියක් අසල ජීවත් වීම පිළිබඳ ඇති "සමාජීය මත සහ කුල ගැටලු" මෙයට හේතු වී ඇති බව සමීක්ෂකයෝ පවසති.

සියවස් ගණනාවක සිට, අසූචි පිරිසුදු කිරීම පීඩිත කුලයට අයත් කාර්යයක් ලෙස ඉන්දියානුවෝ සලකති.

සිය ලිපියට ලැබුණ ප්‍රතිචාර පිළිබඳ "ඉතා සතුටට පත් වෙනවා" යැයි හනිෆා පැවසුවාය.

පසුගිය දින දහයක් පුරා ඇය සිය පියා සමග කතාබහ කර නොමැත. නමුත් පොලිසිය මැදිහත් වී ඔවුන් සමාදාන කළ අතර, දෙදෙනා අතට අත දී පිටත්ව ගොස් තිබේ.

තවත් තොරතුරු: