සිංගප්පූරුවේ සිට ලන්ඩනය බලා පියාසර කළ ගුවන් යානයක ව්‍යාපාරික පන්තියේ 'පියාපත් ඇති අපූරු මගියෙක්'

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
සිංගප්පූරුවේ සිට ලන්ඩන් දක්වා පියාසර කළ මගී ගුවන් යානයක සිටි පියාපත් සහිත ගුවන් මගියෙකු හමුවී තිබේ. ගමනාන්තය දක්වා පැය 14 ක කාලයක් පියාසර කරන එම ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලය, එම 'සුවිශේෂී මගියා' දැක ඇත්තේ, පැය 12 ක් ගතවූ පසුවය.
සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ව්‍යාපාරික පන්තියේ සිටියදී මයිනෙකු හමුවී ඇත්තේ, පසුගිය ජනවාරි 07 වන දිනයේදීය.
කෙසේ වෙතත්, අදාළ ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කළේ, සතියක කාලයක් ගතවීමෙන් පසුවය.
කියවන්න.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ෆේස්බුක්හි පළ කර ඇති වීඩියෝවක දැක්වුණේ, එම මයිනා ආසනයක හිස තබන කොටසෙහි සුව පහසුවෙන් වසා සිටි ආකාරයයි. පසුව එම පක්ෂියා අල්ලා ගැනීමට ගුවන් සේවකයෙකු අසාර්ථක උත්සහයක නිරත වන අයුරු ද එම වීඩියෝවෙහි දැක්වේ.
"පසුව ඒ කුරුල්ලාව මගීන් කිහිප දෙනෙකුගේ ද සහය ඇතිව කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් අල්ලා ගනු ලැබුවා," සිංගප්පූරු ගුවන් සමාගමේ ප්‍රකාශකයා ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පතට පවසා තිබිණි.
තවත් පුවත්:
දකුණු ආසියාව නිජබිම කර ගත් සුලබව දැකිය හැකි පක්ෂියකු වන මයිනා, Gracula Ptilogenys යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 23 ක් පමණ වන පක්‍ෂියා තද කළුවන් දුඹුරු පාටට හුරු පියාපත් නිසාත්, හොට. කකුල් සහ ඇස් වටා කහ පැහැ වීමෙනුත් කැපී පෙනේ.
කෙසේ වෙතත්, මගී ගුවන්යානයෙන් සිංගප්පුරුවේ සිට ලන්ඩනයට පියාසර කළ පක්ෂියා, පසුව ලන්ඩන්හි හීත්‍රෝ ගුවන් තොටුපොළේදී සත්ව නිරෝධායන නිලධාරීන් වෙත භාර දී තිබේ.
එම ගුවන් යානය සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපොළේ නවතා තිබියදී එම පක්ෂියා ගුවන් යානය තුළට ඇතුළු වූයේ කෙසේ ද යන්න පිළිබඳව පැහැදිලි කර ගැනීමට නොහැකි වී ඇති අතර, පැය 12ක් පුරා එම පක්ෂියා කුමන් ස්ථානයක සැඟවී සිටියේ ද යන්න පිළිබඳව ද නිලධාරීන්ට කරුණු හෙළි වී නොමැත.




























