ෆොනී සුළි කුණාටුව: ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයට දැඩි හානි

ඡායාරූප මූලාශ්‍රය, EPA
නැගෙනහිර ඉන්දියානු වෙරළ තීරය හරහා පැයට කිලෝමීටර 200ක පමණ වේගයකින් හමා යන සුළි කුණාටුවකින් මේ වන විට දෙදෙනෙකු මියගොස් බොහෝ දේපළ හානි සිදුව තිබේ.
නැගෙනහිර ඔරිස්සා ප්‍රාන්තයේ සුළි කුණාටුවට හසුවන ප්‍රදේශවලින් මිලියනයකට වැඩි පිරිසක් ඉවත් කරගෙන ඇත.
ෆොනී ලෙස නම් තබා ඇති මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් සමහර ප්‍රදේශවල ජල ගැලීම් තත්වයක් ද වාර්තා වී තිබේ.


ඡායාරූප මූලාශ්‍රය, EPA
වසර 858ක් පැරණි ජගන්නාත් දේවස්ථානය ද පිහිටා ඇති සංචාරකයින්ගේ ආකර්ෂණය ඇති ස්ථානයක් ලෙස ප්‍රකට පූරි ප්‍රදේශයෙන් ද නාය යෑම් පිළිබඳ වාර්තා වී ඇත.
ඉන්දියාවේ දරිද්‍රතාව වැඩිම ප්‍රාන්තවලින් එකක් වන ඔරිස්සාහි දිස්ත්‍රික්ක 15කට මෙම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වීමට ඉඩ ඇති බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
නමුත් සෙනසුරාදා (අප්‍රේල් 04) වන විට මෙහි බලපෑම පහව යනු ඇති බව ද කාලගුණ බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ප්‍රාන්තයෙන් පිටතට යන හා එන ගුවන් ගමන් ගණනාවක් මෙන්ම දුම්රිය සේවා ද අවලංගු කර ඇති අතර, පාසල් සහ රජයේ ආයතන වසා දැමීමට පියවර ගෙන ඇත.
නැගෙනහිර ඉන්දීය වෙරළ තීරයේ වරාය තුනක මෙහෙයුම් කටයුතුද නවතා දමා තිබේ.
වෛද්‍ය කණ්ඩායම් මෙන්ම සහන සේවා ද්‍රව්‍ය සමග යුද නැව් හා හෙලිකොප්ටර් යානා සුදානම්ව තබා ඇති බව ද වාර්තා වේ.
මෙම තත්වය පහව යන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් ඉවත් වී සිටින ලෙස ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය අනතුරු අඟවා තිබේ.
"පැල්පත් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම අනෙක් ගොඩනැගිලිවලට ද දැඩි හානි සිදු වෙන්න ඉඩ තිබෙනවා," ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය තවදුරටත් පැවසීය.



























